Saturday 29 September 2012

අටවැන්නාගේ භූමිකාව හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන

ප්‍රියන්ත ෆොන්සේකා

පසුගිය වසරේ අවසන් මාසයේ කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංගශාලාවේ රංගගත කෙරුණු එක්තරා වේදිකා නාට්‍යයක් මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් විය. ඒ නම් රෙජිනල්ඩ් රෝස් නමැති ඇමරිකානු රචකයා විසින් ’12 Angry Men’ නමින් රචනා කරන ලදුව, වේදිකාවේ, ගුවන් විදුලියේ, ටෙලිවිෂනයේ හා සිනමාවේ, ඒ ඒ ස්වරූපයන්ට ගැලපෙන ලෙස නිපදවුණු කෘතියේ ‘දොළහක්‘ නමැති සිංහල පරිවර්තනයයි. අතුල පතිරණ විසින් මෙරට වේදිකාවට නිපදවා තිබුණු මෙම නිර්මාණය සිංහලයට නගා තිබුණේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
මංගල දර්ශනයෙන් පසුව, ප්‍රජාව අතර ප්‍රචලිතව ගිය ‘දොළහක්‘ හි බොහෝ පසු දර්ශන සඳහා සතුටුදායක සහභාගිත්වයක් දක්නට ලැබිණ. අද්‍යතන වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් අතර දක්ෂතා පෙන්වා ඇති සහ කැපී පෙනෙන ලෙස නැග එමින් සිටින රංගධරයින් 12 දෙනෙකු එක්ව පුරා පැය දෙකක් මුළුල්ලේ වේදිකාව මත දිග හරින නාටකයේ ප්‍රබලත්වයත්, ඒ ගොඩ නංවා ඇති අපූර්වත්වයත් හැරුණු කොට කෘතියේ පෙළ විසින් සාකච්ඡාවට ගැනෙන කාරණාවේ තිගස්සවන සුළු ආකර්ෂණ ගුණයත් මේ සඳහා වන ප්‍රේක්ෂක එක්වීම ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස හඳුනාගත හැකි ය.
පසුගිය ජූලි මාසය ආරම්භයත් සමග වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන හා සමාජ කතිකාවේ නැවුම් හැරවුම් ලක්ෂයක රුව පහළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළැඹි අතර බැලූ බැල්මට සිය වැටුප් සහ දීමනා සඳහාම වෙතැයි පෙර අරගල කෙරෙහි වන සුලභ දොස් නැගුම සපුරා වෙනස් මගකට හරවමින් සමස්ත රාජ්‍ය අධ්‍යාපනයේ සුරැකුම පෙරට ගෙන ආ මෙම අරගලය සඳහා ද බුද්ධිමත් මහජන කොටස්හි කැපී පෙනෙන ආකර්ෂණයක් හඳුනාගත හැකි විය. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක මුදලක් රාජ්‍ය අධ්‍යාපනය සඳහා වෙන් කොට නිදහස් අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කරන ලෙස රජයට බල කෙරුම අරගලයේ මූලික සටන් පාඨය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දියත් කරන ලද්දේ වුව එය තෘතියික අධ්‍යාපනයට සීමා නොවී ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම වන අර්බුදවලට විසඳුම් ඉල්ලන සටනක් බවට පත්ව තිබේ.
වේදිකාව මත දිගහැරී ‘දොළහක්‘ නාට්‍යය නිපදවාගත් ආකර්ෂණ ගුණය හා සමාන කම්පිත ආකර්ෂණයක් හා ප්‍රබලත්වයක් සමාජ වේදිකාව මත ‘රඟ දැක්වෙන‘ (හෝ රඟ දැක්වීමට බල කර සිටි) ආචාර්යවරුන්ගේ අරගලය විසින් ද හිමි කරගෙන ඇත. සමාන ලෙසම, ආරම්භක මොහොතෙහි නාටකයේ අට වැනි ජූරි සභිකයාගේ භූමිකාව ‘ෆූටාව ‘ විසින් රඟ දක්වා ඇත. මෙම ලියවිල්ලෙහි අරමුණ ‘දොළහක්‘ හා අරගලය සසඳමින් සරල තෘප්තිකර සටහනක් හරහා කරුණු පෙළ ගැස්වීම නොවේ. පුද්ගල හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රබලව ප්‍රශ්න කරමින් නාට්‍යයේ අට වැනි ජූරි සභිකයා (විශ්වජිත් ගුණසේකර ගෙනෙන භූමිකාව) සමස්ථ ජූරි සභාවකට එරෙහිව යමින් දියත් කරන ජයග්‍රාහී අරගලයට සමාන්තරව පොදු ජන හෘද සාක්ෂියම යළි යළිත් ප්‍රශ්න කරමින් අනවරත අරගලයකට පෙරට එන ෆූටාවේ භූමිකාව පිළිබඳ ඇගයීමක යෙදීම ය. එසේම භයානක හා ප්‍රශ්න නොකෙරෙන සමාජ වටපිටාවක පෙරට ආ සටන් සගයින් හා භෞතිකව එක්ව නැගෙන්නට ලියුම්කරුට නොහැකි අවස්ථාවේ වෙනත් ආකාරයකින් එයට දායක වීමට ය.
‘ෆූටාව‘ ලෙස මෙම ලිපියේ මවිසින් සඳහන් කරන්නට යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වූ කලී ලංකාවේ විශ්වවිද්‍යාලවල සංවිධානයව පවතිනා ආචාර්ය සංගම් සියල්ලෙහි මව් සංවිධානයයි. මෙයට දිගු ඉතිහාසයක් ඇත්තේ වී නමුත්, අවස්ථා කිහිපයක දී සිදුකර ඇති මැදිහත් වීම් හා නැගීම් කිහිපයක් හැරෙන්නට මෑතක් වන තුරුම එය හඳුනාගෙන තිබුණේ තරමක නිහඬ පිළිවෙතකින් වෘත්තීය ප්‍රශ්න කෙරෙහි යොමු වන සංවිධානයක් හැටියට ය. එහෙත් පසුගිය වසරේ තෙමසක් පුරා විහිදි දැවැන්ත වෘත්තීය අරගලයක් සංවිධානය කිරීම නිසාවෙන් ‘ෆූටාව‘ සටන් සංවිධානයක් ලෙස පෙරට එන අතර මෙම වසරේ එහි දිගුවකින් ඇරඹ වඩා ශක්තිමත් සටන් පාඨ ඔස්සේ පෙළ ගැසීම හා නොබිඳ පෙරට යෑම හේතුවෙන් දිවයිනේ ප්‍රධානතම වෘත්තීය සමිති සංවිධානයක් බවට පත් වන්නේ ය.
නවකයෙකු ලෙස ‘ෆූටාවේ‘ සටන් මග හා ගිය වර එක්වූ මොහොතේ සිට මා දුටුවේ අනෙකුත් වෘත්තීය සංවිධාන විමසද්දී වැඩිපුර දක්නට නොලැබෙන එක්තරා අපූර්ව ලක්ෂණයකි. ‘ෆූටාව‘ වූ කලී අනෙකුත් බොහෝ වෘත්තීය සංවිධාන මෙන් සෘජු දේශපාලන පක්ෂයක නියෝජිත සංවිධානයක් නොවීම ඒ ලක්ෂණයයි. ඒ හේතුව නිසාම එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සිහළ උරුමය මෙන්ම නව පක්ෂයක් ලෙස ආ පෙරටුගාමී පක්ෂය ආදී පක්ෂ සමග කිට්ටු සබඳකම් ඇති ක්‍රියාකාරීන් එක් පෙරමුණක හමුවීම මෙහි දී සිදු වෙයි. විවිධාකාර දේශපාලනික මතාන්තර දරන්නන්ගේ ගැටීම් හේතුවෙන් මෙවැනි සංවිධානයක් ඉක්මණින් දියව යා හැකිමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ සබුද්ධික බවට දෙස් දෙමින් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ පෙන්වමින් තවම ඒ පෙරට ගමන් කරනු පෙනේ. ක්‍රියාකාරී පෙර පෙළෙහි සිට පසුපස දක්වාම වන මෙම දෙදරා යා හැකි ස්වභාවය වටහා ගනිමින් මෙය මෙහෙය වන පෙරමුණ අසුන්වලට ඇගයීමක් ලැබිය යුත්තේ බිඳී යාම වළක්වා ගන්නා නිසාම නොව එසේ පවතිමින් ශක්තිමත් අරගලයක් ගොඩ නංවා ගන්නා නිසා ය.
දොළහක් නාට්‍යයේ අටවැන්නා තනිව නැගෙද්දී සෙස්සන්ට (විශේෂයෙන්ම දසවැන්නාට - ඩබ්ලිව්. ජයසිරිගේ භූමිකාවට) නුරුස්සන්නේ ද මෙම නිර්භය නැගීමයි. ‘උට ඉඩ දෙන්න එපා මේ එක එක විකාර අනිත් උන්ගෙ ඔළුවලට දාන්න‘ වැනි වදන් ඔහුට එරෙහිව නැගෙන්නේ එබැවිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරයින් ‘කාලකන්නින්‘ රැසක් බවට හඳුන්වා දෙමින් මෑතක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ද මෙම නුරුස්සන බව, නාටකයේ චරිතයට සාම්‍ය ලෙස ඔහු තුළින්ද පැන නැගෙන බවට සාක්ෂියකි. එසේම මා යට කී එකමුතු, ප්‍රජාතන්ත්‍රික සංවිධානයේ ප්‍රබලත්වයට බිය වූ බව ප්‍රකට වීමකි. ආචාර්ය අරගලය මෙහෙයවන්නේ ‘යූ. ඇන්. පී එකෙයි, ජේ.වී.පී එකෙයි, අර පෙරටුගාමි එකෙයි උන් ටිකක්‘ කීමෙන් ඔහු ද මෙම සංවිධානයේ වටපිටාව හඳුනාගෙන ඇති බව පෙනේ. (එහි එජනිස හා සම්බන්ද අයද සිටිනා බව කියන්නට ඔහු නොපෙළඹීම විග්‍රහ කිරීම අනවශ්‍ය යැයි සිතමි.)
ඔහු පවසන අයුරින් මෙය විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයකම එකමුතුවෙන් මෙහෙය වෙන්නක් නම් මෑතකාලීන වෘත්තීය අරගල අතුරින් මේ සඳහා විශේෂ ස්ථානයක් නිතැතින්ම හිමි වේ. මක් නිසා ද යත්, බොහෝ අරගල, එක් පක්ෂයක් හා සබැඳි වෘත්තීය කණ්ඩායම් විසින් මෙහෙය වනු ලැබීම මෑත ඉතිහාසයේ සුලභ සිදුවීමක්ව තිබූ හෙයිනි. එසේමුත් ඔහු එය පෙන්වා දෙන්නේ ‘විරුද්ධවාදීන් පිරිසක්‘ සිදු කරන ‘අනවසර -නීති විරෝධී‘ කටයුත්තක් ලෙස ය. එහි නොකියවෙන කොටස විමසා බැලුවහොත් හැඟෙන්නේ, ‘ආණ්ඩුවෙ තීන්දුවලට එරෙහි අරගලයක් උනත් කරන්න නම් ආණ්ඩුවෙම වෙන්න ඕන!‘ වැනි ‘හතර බීරි‘ අර්ථයකි. ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රීය ලෙස, නීත්‍යානුකූලව පිළිගැනීමක් ඇති දේශපාලන පක්ෂ සමග ෆූටා සාමාජිකයින් සබඳතා පැවැත්වීම ද, ඒ පක්ෂ මේ අරගලයට අඩු -වැඩි වශයෙන් සහාය පළ කිරීම ද සිදු නොවිය යුතු, අපරාධකාරී ක්‍රියා ය.
නාට්‍ය වේදිකාවේ අටවැන්නාට එරෙහිව දසවැන්නාගේ නැගී ගෙන එන තර්ක හා සමාන මෙම මතාන්තර, නාට්‍ය ප්‍රේක්ෂාගාරය සිනාවෙන් පුරවා ලූ ලෙසම මහජන ප්‍රේක්ෂකාගාරයේ බුද්ධිමය ප්‍රේක්ෂකයා වෙත සිනහව කැඳවා ඇත‍. දොළහක් නාට්‍යයේදී නම් අටවැන්නාට එරෙහිව නැගෙන ප්‍රධාන භූමිකා කිහිපයක්ම (තුන්වැන්නා - ධර්මප්‍රිය ඩයස් / සිවුවැන්නා - ලක්ෂ්මන් මෙන්ඩිස්) හමුවන මුත් ආත්මීය හැඟීම් හෝ බුද්ධිමය තර්කනය මත පදනම් වන එකී චරිත දසවැන්නා ගෙනඑන හාස්‍යමය සමානත්වය ගොඩ නොනංවන බව පිළිගත හැක. මෙහිදී අමාත්‍යවරයාද කලබල වන්නේ ‘මගේ ගැරේජ් ටික අරෙහෙ මක බෑවෙනවා‘ කියමින් දසවැන්නා කෑ මොර දුන්නාක් වැනි තත්වයකිනි.
දහසය හැවිරිදි දරුවකු විසින් සිය පියා මරා දමා ඇතැයි යන සැකය මත පදනම්ව ඇසෙන නඩු විභාගයකින් පසු ජූරි සභිකයින් 12 දෙනෙකු ජූරි කාමරයට පැමිණෙන මොහොතින් දොළහක් නාට්‍යය ආරම්භ වෙයි. ලැබී ඇති සාක්ෂි හා තොරතුරු අනුවත්, නඩුවේ නීතිඥයින්ගේ තර්ක විතර්ක අනුවත් දරුවා මිනීමරුවා ය යන තීන්දුව ඉතා පැහැදිලි බව සියල්ලන්ගේ ම අදහස වේ. පහළ මාලයේ පදිංචිකරුවාගේ හා මාර්ගයෙන් අනෙක් පස ජීවත් වන ගැහැණියගේ සාක්ෂි මෙන්ම චූදිතයාගේ කට උත්තර හා පිළිතුරු දීම්වලින් ද ඒ පැහැදිලි වන බව කියමින් වහා ඔහු විදුලි පුටුවට යැවිය යුතු යැයි තීන්දු කොට පිටව යාම බහුතරයකගේ අවශ්‍යතාවයකි. ‘බේස් බෝල තරගය‘ සඳහා ගත් ටිකට්පත් අපතේ ගොස් තරගය බලන්නටද නොහැකි වෙතැයි යන බියෙන් වන සත්වන ජූරි සභිකයා, ‘ගරාජ මකබෑවෙන නිසා‘ දුවන්නට බලා සිටින දසවැන්නා, ‘පිපී ඉපිලෙන විළඳ පොරි‘ ගැන ලියා වෙළඳ දැන්වීමක් සදන්නට දත කන දොළොස් වැන්නා වැනි පිරිසක් අත ඔසවා චන්දය දී මේ කාමරයෙන් පිටව යන්නට පෙරුම් පුරද්දී අටවැන්නා විමසන්නේ එකම එක පැනයකි. අයෙකු මිනීමරුවෙකු කොට විදුලි පුටුවට යවන්නට අත එසවීම යනු අති නිවැරදි කරුණු මත පදනම්ව ගත යුතු තීරණයක් නොවේද යන්න ඒ පැනයයි. තනිව නැගී එකොළොස් දෙනෙකුට එරෙහිව යමින් ඔහු ගෙනෙන තර්කයට උදව්වට ගනු වස් මුලින්ම ඔහු තුළද ඇත්තේ අපැහැදිලි සැක සංකා කිහිපයකි. එහෙත් ක්‍රමිකව හා ප්‍රබලව ගොඩ නැඟෙන විරෝධතා ඉදිරියේ කරුණු ගොණු කරද්දී සැක සංකා පසුබිමෙහි වන බිඳිය නොහැකි කරුණු එකින් එක දිගහැරෙන්නට ගනියි. තර්කයෙහි ප්‍රබල බවත් සූක්ෂම හා විචක්ෂණශීලී විමසා බැලීමත් නිසා අටවැන්නාගේ අදහසෙහි සිතා බලන්නට යමක් වන බව පෙනී යන්නට පටන් ගනියි. එහෙත්, එරෙහි එකොළොස් දෙනා පෙළ සැදී ඔහුගේ මතය පිළිගන්නේ නැත. ස්වාත්මීය කාරණාවන්හි සිට පන්තිමය විරෝධතා දක්වාත්, තර්කයේ සිට පිළිගත හැකි මූලයන් දක්වාත් විහිදයන විවිධාකාර මතිමතාන්තරවල එල්බ සිටින සෙසු පිරිස සිය හිස මත නැගෙන ප්‍රශ්න එකිනෙක ගෙන අටවැන්නාට යොමු කරයි. අයෙක් ඒ තාර්කික පදනමකින් ගෙනෙද්දී ඇතමෙක් වෛරයෙන් සිය මතය ගෙන දමා ගසති.
එකිනෙක පිළිවෙලට ලිහා තබමින්, බුද්ධිගෝචර ලෙස ප්‍රතිපක්ෂයට මුහුණ දෙමින් යන අටවැන්නාගේ ගමනට කෙමෙන් නමවැන්නා, එකොළොස් වැන්නා, පස්වැන්නා එක් වන අතර ඒකමතික තීරණයක් ඉල්ලා සිටින විනිසුරු අසුන වෙත ඉක්මණින් යා නොහැකි පසුබිමක් නිර්මාණය වන්නට පටන් ගනිමින් නාටකීය ස්වභාවය උච්චස්ථානය කරා නැගෙයි.
නාට්‍යය හා පෙනෙන සරල සබඳතා කිහිපයක් නිසාවෙන් මෙම සාකච්ඡාවට ‘දොළහක්‘ කැඳවාගෙන ආ මුත් ෆූටා හි අරගලය එම සීමාවල පමණක් නොරඳන බව පැහැදිලි කිරීම අනවශ්‍ය ය. එක් අතකට මෙම මහජන වේදිකාවේ නාට්‍යය, ‘දොළහක්‘ හි සිදුවීමට වඩා කිහිප ආකාරයකින් බරපතල ය. එසේම නාට්‍යයේ චරිත මෙන් දෙන ලද පිටපතෙහි දෙබස්වලින් හා රංග විධානවලින් සීමා කෙරෙන රාමුවක මේ නොපැවතීම ද සරල ලෙස පෙනෙන මුත් භයානක ය. අනෙක් පැත්තෙන් ෆූටා අරගලය පෙනී සිටින්නේ අපැහැදිලි තීන්දුවකට එරෙහිව නොව පැහැදිලිව හඳුනාගත හැකි අමනෝඥ තීන්දුවකට එරෙහිව ය. රටක අනාගතයේ නිශ්චිත දිශානතිය පූර්ණ ලෙස තීන්දු කෙරෙන්නේ එම රට විසින් අධ්‍යාපනය වෙත යොමු කරන වැය මත බව පැහැදිලි කිරීමට වෙනත් සාක්ෂි කැඳවීම් හෝ විතර්කන සොයා යෑම් අනවශ්‍ය ය.
මෙහිලා විදුලි පුටුවට යවන්නට නියම කොටගෙන ඇති ‘නිදහස් අධ්‍යාපනය‘ නමැති චූදිතයාට එරෙහිව ඇසුණු නඩුවක් නොවූ අතර කිසිවිට එහි ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට ෆූටාවට හෝ පුරවැසි සංවිධානවලට ආරාධනා නොලැබුණි. තත්‍ය ලොව රංගනයේ ෆූටා භූමිකාව ප්‍රබල ලෙස වෙනස් වන්නේ ජූරියක් නැති නඩුවක චූදිතයාට එරෙහි තීන්දුව ප්‍රශ්න කරන ස්ව-කැඳවන්නකු වී ඇති නිසා ය. ඔහුට කරුණු දක්වන්නට මනාව සකස් කළ වේදිකාවක් තිබුණේ නැත. වෙනත් සාමාජිකයින් (දසවැන්නා හැර!) පෙනෙන්නට සිටියේ ද නැත. තමන් විසින් ම නැගී වේදිකාවක් තනාගෙන නඩු තීන්දුව ප්‍රශ්න කිරීමේ අභීත තීන්දුවට ෆූටාව පිළිවිසියේ ය.
නමවැන්නා, එකොළොස්වැන්නා හා පස්වැන්නා නැගී ආ විලසින් ගුරු සංගම්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති ෆූටාව හා සිටගත් අතර සබුද්ධික පුරවැසි ප්‍රජාවේද එකතුවෙන් නාටකය වරෙක රැඳුණු ‘හයට හය‘ මධ්‍ය ලක්ෂයේ, අරගලයද මේ වන විට රැඳී ඇති බව මාගේ විශ්වාසය යි.
ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී නාටකයේ ඉතිරි අර්ධය රඟ ගත වූ සැටි මට හොඳින් මතක ය. තරගය අහිමි වේයැයි බියෙන් හත් වැන්නා සිය අදහස වෙනස් කළ අතර, අනිත් උන්ගේ අත් එසවෙන දෙස බලා දොළොස් වන ‘ඇඩ්වර්ටයිසින්කාරයා‘ සිය මතය හකුලා ගත්තේ ය. අවසන් තර්කය ද සාර්ථක ලෙස බිඳ වැටෙද්දී සිවුවැන්නා නිහඬ වූ අතර, ආත්මීයව ප්‍රශ්නය දෙස නොබලන ඥාණය පහළ වත්ම තුන්වැන්නා පරාජය භාර ගත්තේ ය. හාස්‍ය රසය නිබඳව ගෙනා දසවැන්නා පිටව ගියේ ‘තොපි ඔක්කොම අපතයො, ඕන එකක් කරගනියව්‘ කියමිනි.
දැන් අප ඉදිරියේ සිටින්නේ ද මෙම කණ්ඩායමයි. පිටපතක් නොමැති බැවින් නිසි තැන නිසි දෙබස මෙපිරිස නොකියනු ඇත. තරග අහිමි වෙතැයි බියෙන් ස්වාර්ථය රැක ගන්නට තැත් දරන්නෝ, විළඳ පොරි මෙන් අධ්‍යාපනයද ‘ඇඩ්‘ දමා විකුණන්නට බලා සිටින ‘ ඇඩ්වර්ටයිසින්කාරයෝ‘ හා වෙළෙන්දෝ, තමා දන්නා දෙය හා ඔළුවට දමාගත් හෝ දමන දෙය (රූපවාහිනියෙන්, ලේක්හවුසියෙන් හා ගුවන් විදුලියෙන් ඇතුළු) තර්කානුකූල සත්‍යය යැයි සිතන්නෝ, ආත්මීයව පාලක පක්ෂය හා බැඳී සිටින්නෝ ඒ භූමිකාවල වෙති. එහෙත් දෙබස්වලින් ‘තොපි සේරම අපතයෝ‘ වැනි වදන් කියමින් පෙරමුණේ සිටින්නේ දසවැන්නා පමණි. (හා එම භූමිකාවේ වෙනත් වේෂයන් පමණි.)
දැන් එළඹෙමින් පවතින්නේ කූටප්‍රාප්තියයි. එනිසාවෙන් නිශ්චිත දිශාවක් සොයා පෙරට ඇදෙන ෆූටා අරගලයේ ඉදිරි සටන වඩා තීරණාත්මක වනු ඇත. ‘පහළට - ඇතුළට‘ අනින ලදැයි කියා පෙරට ගෙනා, දරුවා පාවිච්චි කළැයි කී යතුරුතළ පිහියේ සිට සියලුම කැපෙන සුළු ආයුධ තවමත් විරුද්ධ පාර්ශවිකයින් අත ඇති අතර කොයි මොහොතක වුව ඒ භාවිතයට ගෙන නඩුවට විරුද්ධවාදියෙකු නැතැයි ද, තීන්දුව ඒකමතිකයැයි ද ‘විනිසුරු‘ ට දැනුම් දෙන්නට පිරිස මාන බලන්නට ඉඩ ඇත. පෙර දිනක ෆූටා සභාපතිවරයාගේ රථයේ රෝදයට යටින් තබන්නට ගෙනෙන ඇණයද ඒ ආයුධ පෙට්ටියේ පැත්තක තිබූ එකකි.
සෙස්සන්ට සිය අදහස නිවරැදි බව කියාදෙන්නට ‘දොළහක්‘ හි අටවැන්නා කොර ගසමින් වේදිකාව වටා ඇවිද ගියේ ය. අවශ්‍ය තැන්වල අනෙකාගේම තර්ක පදනම් කර ගනිමින් ඒ දිග ගොස් එහි ප්‍රති තර්කය නිවැරදි බව අනෙකාට පෙනෙන්නට ඉඩ හැරියේ ය. වරෙක නිහඬ විය. තවත් වරෙක ප්‍රවේගකාරීව හා ප්‍රවේශම් සහගතව වදන් ගොණු කළේ ය.
‘ෆූටාව‘ ටද සිය තර්කයේ ඇති නිවැරදි බව සෙස්සන්ට පසක් කරන්නට පාගමන් සම්පූර්ණ කරන්නට සිදුවනු ඇත. ඒ රට වටා ගොසිනි. තර්ක හා සංවාද හරහා සිය මතයෙහි ප්‍රබලත්වය ඒත්තු ගන්නන්නට සිදුවනු ඇත. සරල හාස්‍යය නිෂ්පාදනය කරන ප්‍රතිවාදී තර්ක මග හැර, නිහඬවී එවැනි මතයන්හි ඇති මන්දබුද්ධික බව ජනයා වටහා ගනිත්ම නිසි තන්හි ප්‍රවේශම්ව වදන් ගොණු කළ යුතුව ඇත.
අරගලයේ මුල් කාර්තුව පුරාම විශිෂ්ට ලෙස ෆූටාව මෙය ඉටු කළේ ය. මෙතෙක් අප රට නොවූ විරූ ලෙස අන්තර් ජාලය හරහා සමාජ සබඳතා ජාල වෙත ප්‍රවේශ වෙමින් ජනතාව වෙත පණිවුඩය සන්නිවේදනය කළේ ය. ෆේස් බුක් අඩවි, බ්ලොග් අඩවි, ෆූටා පුරවැසි යූ-ටියුබ් නාලිකාව මෙම පණිවුඩ පද්ධතියේ ප්‍රබල හා සක්‍රීය මෙවලම් විය. ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, දඹර අමිල හිමියන් හා ආචාර්ය මහීම් මෙන්ඩිස් වැනි කිහිප දෙනෙකුගේ ප්‍රකාශවලින් ප්‍රවෘත්ති සංස්කාරකවරයාගේ හිතුමනාපයට (ඔහුගේ නාලිකාවේ අවශ්‍යතා මත) පෙළ ගැස්වූ කොටස් හරහා සත්‍යය අර්ධව වටහාගත් ජනතාව යට කී පිරිසට අමතරව මහාචාර්ය නවරත්න බණ්ඩාර, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය දීපිකා උඩගම, ආචාර්ය දනේෂ් කරුණානායක ආදීන්ටද පූර්ණව සවන් දෙමින්, දහස් සංඛ්‍යාත සාමාජික පිරිසක් හා සංවාදයේ යෙදෙමින් ඇත්ත තොරතුරු හා බැඳෙනු පෙනේ.
එහෙත් සමාජ සබඳතා ජාලයන්ට වඩා බොහෝ ප්‍රබල විද්‍යුත් නාලිකා හා මුද්‍රිත මාධ්‍යය භාවිත කරමින් නිදහස් අධ්‍යාපනයේ ‘විදුලි-පුටු‘ සම්ප්‍රාප්තිය නිවරැදි බව බහුතරය වෙත දනවන්නට ‘දසවැන්නා‘ ප්‍රමුඛ ප්‍රති-පිළ තවම බලවත් ය. තීරණාත්මක මොහොතේ මෙහෙයුම් පුළුල් දැක්මකින් හා නිසි එල්ලයකින් යුතුව යොමු විය යුත්තේ එහෙයිනි.
පුරා පැය දෙකක නාට්‍ය කාලය අවසානයේ දසවැන්නා ද නිහඬ වූ පසු තුන්වැන්නා වේදිකාවේ පෙර බිම තනි වෙයි. ඔහුට එරෙහිව පසු වේදිකාවේ සිටගන්නා අටවැන්නා නාට්‍යයේ අවසන් දෙබස් කණ්ඩය මෙසේ පණ ගන්වයි.
“ඒ ඔබේ දරුවා නෙවෙයි... ඒ වෙන කෙනෙක්. එයාට ජීවත් වෙන්න ඉඩ හරින්න!“
ප්‍රබල දෙබස අවසන නිහඬ මොහොතක් එළැඹේ. අවසන තුන්වැන්නා මෙසේ කියයි.
“නිර්දෝෂයි!!“
අවසන් මොහොතේ එරෙහිව නැගෙන්නාට ද ෆූටාව කිව යුතු සමාන දෙබස් කණ්ඩයකි.
“මේ ඔබේ පුද්ගලික දේපලක් නොවෙයි. මේ රටේ හෙට දවසේ අධ්‍යාපනයයි!! එයට නිදහස්ව පවතින්නට, එය නිදහස්ව ලබන්නට ඉඩ හරින්න!!!“
නාටකය ජයග්‍රාහී නිමාවකට ප්‍රවේශ වනු ඇත.

1 comment:


  1. “මේ ඔබේ පුද්ගලික දේපලක් නොවෙයි. මේ රටේ හෙට දවසේ අධ්‍යාපනයයි!! එයට නිදහස්ව පවතින්නට, එය නිදහස්ව ලබන්නට ඉඩ හරින්න!!!“

    ReplyDelete