Sunday 14 October 2012

ඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් වෙන්වී මේ අරගයේ පුරා රැඳුනු ජවයත් අරගෙන........


 

(මෙය අපැහැදිලි සටහනකි. ලිවීමට පටන්ගත්තේ ෆුටා වර්ජනය අත්හිටවුදා රාත්‍රියේය. එතැන් සිට වරින් වර ලිවීමි. එය සංස්කරණය කිරීමට උත්සාහ කළත් නිරර්ථක බව වැටහින. එනිසා එලෙසින්ම තබමි.)

මිනිසුන් යම් සටන් පාඨයක් වටා එකතුව එය වෙනුවෙන් පෙනී සිටින්නේත් , වැඩ කරන්නේත් හුදෙක් තාර්කිකව එය පැහැදිලි වන නිසා පමණක් නොව ඒ සමග අනුරාගිකව ( මෙහි අනුරාගික යන වචනය මා යොදන්නේ passionate යන වචනය සඳහාය) බැඳෙන නිසා ද බව ෆුටා වර්ජනය අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු ලැබුණු ඇතැම් ප්‍රතිචාරවලින් හොඳට ම පැහැදිලිය. එවැනි ප්‍රතිචාරවලට මා සහ තවත් කිහිප දනෙකු  ලියූ ප්‍රතිචාර ද අනෙක් අතට එය ම සනාත කිරීමකි. එනිසා එවන් ප්‍රතිචාරවලින්  යම් සිත් රිදුමක් යමෙකුට ඇති වී නම් පළමුව සමාව අයදිමි. ඔබේ කර්කශ හා නිර්දය විවේචනත්, ඒවාට අප කිහිප දෙනෙකු දැක් වූ ඊට ම නොදෙවෙනි ප්‍රතිචාරත් යන දෙක ම අවසන් වශයෙන් පෙන්නුම් කරන්නේ ඔබත් අපත් ෆුටා අරගලය සමග කෙතරම් අනුරාගික බැඳී සිටියේද යන එක ම කරුණයි. මා සිතන ලෙස මෙතෙක් ෆුටා අරගලය ලබා ඇති ලොකු ම ජයග්‍රහණය ද මෙයයි. දේශපාලනික වශයෙන් නිර්වින්දනය කරනු ලැබ, පොදු සමාජ අවකාශයන් හකුලනු ලැබ, ස්වආත්ම වන්දනය ආගම බවට පත් කරනු ලැබ, පරිභෝජනය අනන්‍යතාව බවට පත්කරනු ලැබ, සකල සියලු මානව සහ ජිවන අයිතිවාසිකම් ‘දේශප්‍රේමයට’ බිලි දෙනු ලැබ, ඇති සමාජයක පොදු සටන්  පාඨයක් වටා මෙතරම් අනුරාගික ලෙස බැඳුනු මිනිසුන් පිරිසක් එක් කිරීම මෙවැනි කාලයක දේශපාලන ආශ්චර්යයකි. ෆුටා අරගලය පරාජය විනැයි යන්න මා පිළි නො ගන්නේ පරාජය භාරගැනීමට ඇති නොකැමැත්ත නිසා නොව  එහි ජයග්‍රහණයන් ඉස්මතු කිරීම එහි ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන නිසා ය.

අපි මුලින් පටන් ගනිමු. ෆුටා යනු කුමක්ද? ෆුටා යනු සාමාජික ආචාර්ය සංගම්වල එකතුවකි.  මේ ආචාර්ය සංගම්වල සාමාජිකයන් මුලික වශයෙන් තමන් අයත් වන වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ සිය වෘත්තීය ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කරගැනීමේ අභිලාෂයෙනි. ‘ෆුටා’ යනුවෙන් ඉතා පහසුවෙන් තනි වචනයකට ගොනු කර පාවාදීමේ කතන්දර ගොතන බොහෝ දෙනා  අමතක කරන කරුණ නම්, 4000 ඉක්මවන එහි සාමාජිකත්වයේ ඇති විවිධත්වයයි; ඒ සාමාජිකත්වය එක පෙරමුණකට ගෙන එන්නට ෆුටා සමත් වූයේය යන කාරණයයි. විශේෂයෙන්ම තම වෘත්තීය අයිතිවාසිකම්  යන්නට ඍජුව “අදාළ නොවන”, සාමාජිකයා සහ සංගමය අතර ගිවිසුමට ඍජුව “අදාළ නො වන”, සටන් පාඨයක්  වටා ෆුටා සිය සාමාජිකත්වය පෙළගැස්වූයේය යන  කාරණයයි. රජයේ පාර්ශ්වයෙන් එල්ල වූ මූලික විරෝධය සහ විවේචනය ද මේ අදාළ නොවන ක්ෂේත්‍රයට ඇතුළුවීම පිළිබඳව විය. ෆුටා ඉල්ලීම් යට දේශපාලනය අරමුනක් තිබේය යන විවේචනය මතුව ආවේ ද 6% ඉල්ලීම නිසා මිස අනෙකුත් ඉල්ලීම් නිසා නොවේ. සමහර දෙනා විවේචනය කරන ආකාරයට 6% සටන් පාඨය යනු වැටුප් වැඩිකර ගැනීමේ “යටි අරමුණ” වෙනුවෙන් ජනතා ආකර්ෂණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයිසින් සටන් පාඨයක් නම්, එය සාමාජිකයන් සහ සංගම් අතර පැවතිය යුතු  රහස් කුමන්ත්‍රණයකි. වෙනත් ලෙසකින් කිවහොත් “ අපි 6% කියල අයිසින් එකක දානවා ඒක ඒ තරම් සීරියස් ගන්න එපා” යනුවෙන් එකඟතාවක් පැවතිය යුතුය. එහෙත් ෆුටා සාමාජිකයන් මේ “අයිසින් එක” වෙනුවෙන් මාස තුනක් කටු කෑවේය. “අයිසින්” එක අයින් කරමු යයි කිසිවෙක් කිවේ නැත. සත්‍යය නම් ෆුටා සාමාජිකයන් 6% සටන් පාඨය තම ජීවිතවල කොටසක් කරගත් බව ය.  මේ පිරිස මාස තුනක් පුරා වැටුප් රහිතව, එක් අරමුනක් වෙනුවෙන් වැඩ කළේය; රැස්වීම්, පාගමන්, අත්සන් එකතු කිරීමේ ව්‍යාපාර, වැනි නොයෙකුත් ක්‍රියාකාරම් සංවිධානය කරමින් ඒවාට සහභාගී වුවේය. මේ සහභාගී වූ අය කවුද? චින්තන ධර්මදාස වරක් ලියා තිබුනේ ඔහුට විශ්වවීද්‍යාල අචාරයවරුන් මතක තිබුනේ පොදු පෙරමුණට ඡන්දය දෙන ලෙස පත්තරවල ඇඩ් දාන පිරිසක් ලෙස බවයි. චින්තනගේ අදහසටත් වඩා දරුණු ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳව ෆුටා සභාපතිවරයාම මීට වසර ගණනාවකට පෙර ලියූ ලිපියක් ද අරගල කාලය තුළ “සොයාගනු” ලැබිණ.( මේ ගැන මුලින්ම සඳහන් කළේ නලින් ද සිල්වා විසිනි. උත්ප්‍රාසත්මක කරුණ නම් එම ලිපියේදී නිර්මාල් නලින් ද සිල්වාගේ රැකියාව අහිමි කිරීමටත්, ඒ පිළිබඳව ආචාර්ය සංගමය අනුගමනය කළ පිළිවෙතටත් එරෙහිව පෙනී සිටීමය. නලින් ද සිල්වාට පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කළේය.) ෆුටා සාමාජිකයන් යනු උපන්ගෙයි විප්ලවවාදීන් පිරිසක් නොවේ. මේ මජර සමාජයේම ජිවත් වන පිරිසකි. මාස තුනක කාලය තුළ  ෆුටා එහි සාමාජිකත්වය වෙනස් කළේය. එය නව පරපුරක් බලගැන්වූ සහ පුහුණු කළ මාස තුනකි. අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමේ එකම හේතුව ඉහලින් එන මර්ධනය පමණක් නොවේ. තිබෙන අවකාශය හෝ භාවිත කිරීමට පුරවැසියා ඉදිරිපත් නොවීම ද ඒ සඳහා බලපාන ප්‍රධාන කාරණයකි. විශ්වවිද්‍යාල දේශපාලනිකරණය සහ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ගත් විට ද මෙකරුණ මෙලෙසින්ම අදාළ ය. උදාහරණයක් ලෙස පීඨ සභා සහ සනාතන සභාවලට විශ්විද්‍යාල පරිපාලන ව්‍යුහය තුළ සැලකිය යුතු බලතල හිමිය. ඒවාට යම් බලපෑමක් කළ හැකිය. එහෙත් ශෝචනීය කරුණ නම් තීරණ ගැනීම කිහිප දෙනෙකුට පවරා බොහෝ දෙනා නිහඬව සිටීමය. බොහෝ විට හැමදාමත් ඒවායේ කථික තරඟ පැවැත්වෙන්නේ සුපුරුදු කථිකයන් කිහිප දෙනෙකු අතර පමණි. බහුතරයක් කට අරින්නේ අතරමගදී ලැබෙන කේක් කෑල්ල කෑමටත් තේ එක බීමටත් පමණි. එහෙත් මේ අරගලයේ ප්‍රතිපලයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් නව පරම්පරාවක් ඉදිරියට පැමිණ ඇත. ඔවුන් විසින් ඇති කරනු ලබන බලපෑම පිළිබඳව පුරෝකථනය කිරීමට දැන්ම ඉක්මන් වැඩි වුවත්, එක දෙයක් පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. එනම්, මේ අරගලය පුරා ක්‍රියාශීලිව සිටි බොහෝ තරුණ ආචාර්යවරියන් සහ ආචාර්යවරුන් යළි සේවයට යනු ඇත්තේ මෙයට පෙර සිටි පුද්ගලයන් ලෙසම නො වන බවයි.

අනික් වැදගත් කරුණ වන්නේ මේ අරගලය තුළ දී  ෆුටා තම සාමාජිකත්වය අතර ගොඩනැගූ සහයෝගිතාවයි. පාවා දෙන්නන් අතලොස්සක් හැරුණු විට ෆුටා සාමාජිකයෝ තමතමන් අතර වන නිහඬ ගිවිසුමකින් මෙන් එක්ව බැඳී ගත්හ. ඔවුහු එකිනෙකා අතර සංවාදයක් ගොඩනගා ගත්හ. එය ඔවුන්ටම තම සමාජ වගකීම පිළිබඳ  ස්වයංවිවේචනාත්මක ඇගයීමකට අවස්ථාව විවර කළේය. මෙය වැදගත් වන්නේ ආකල්පමය වෙනසක් සඳහාය. උදාහරණයක් ලෙස ෆුටා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳව ඉදිරිපත් කළ මූලික තර්කයක් වූයේ පවතින වැටුප් තල නිසා බඳවාගැනීමේ සහ රඳවාගැනීමේ ගැටළුවක් පවතින බවය. මෙහි දී මතුකළ එක් ප්‍රධාන කරුණක් නම් ඒ වැටුප් තල තරඟකාරී නොවන බවය. මෙය සම්පුර්ණ සත්‍යයකි. එහෙත් දැනටත්මේ ප්‍රශ්නය තිබියදීම බොහෝ දෙනා විශ්වවිද්‍යාල අචාරයවරුන් ලෙස සේවය කරන්නේ ඒ වෘත්තියට ඇති කැමැත්ත නිසාය. වැටුප් තල වෙනස් කළ පමණින් ආචාර්යවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ යන්නේ නැත. මගේ අදහස නම් දැණුම සොයායාම, නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරිම පිළිබඳ ලාලසාවකින් තොරව විශ්වවිද්‍යාල අචාර්යවරයා යන වෘත්තීයට යමෙකුට සාධාරණයක් කළ නොහැකි බවයි. සැබවින්ම එය විකල්ප ජිවන විලාසයක් සමග බැඳී තිබේ. උදාහරණයක් ලෙස ඉහළ වැටුපක් ලැබෙන නිසා පමණක්, එය පවතින පරිභෝජනවාදී සමාජයේ ගැඹුරටම කිමිදීමට අවස්ථාවක් උදා කරදෙනු ඇතැයි සිතා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස බැඳීමට යමෙකු තීරණය කළහොත් එවැන්නෙකුගෙන් එම වෘත්තියට සාධාරණයක් ඉටු වන්නේ නැත. එනිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයා යන විකල්ප ජිවන විලාසය බලාත්මක කිරීම හා එය ඉදිරියෙන් තැබීම ද වැටුප් තල තරඟකාරීව ඉහළට ගෙන ඒම තරමට ම වැදගත්ය. ෆුටා අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් බොහොමයක් සිය ජිවන භාවිතයෙන්ම මේ විකල්ප ජිවන විලාසය ප්‍රවර්ධනය කරන්නන් බව මගේ නිරීක්ෂණයයි.  ඔවුන් හා උරෙනුර ගැටී සටන් කළ නව පරම්පරාවේ තරුණ ආචාර්යවරුන් වණික් මහැදුරන් වෙනුවට තම වෘත්තියේ ආදර්ශරුප ලෙස මේ ජිවන භාවිතය ඉදිරියට ගෙන යතොත් එය ෆුටා අරගලය ලැබූ අමිල ජයග්‍රහණයක් වනු ඇත. මේ අරගලය  තුළ දී ඒ සඳහා ඉඩකඩ විවර වීමම වැදගත් දෙයකි.

වර්ජනය පැවති කාලයේ ෆුටා සහ පොදුවේ විශ්විද්‍යාල පිළිබඳව ඉදිරිපත් වූ  විවේචනවලට කර්කෂ ප්‍රතිචාර දැක්වුවද (සැබවින්ම එවන් තත්වයක් යටතේ කළ යුතු නිවැරදිම දෙය එයයි) ඒ  ඇතැම් විවේචනවල සත්‍යතාවක් ඇති බව අප නිහතමානිව පිළිගත යුතුය. ඔහු ඒවා ඉදිරිපත් කළ විලාශය සහ අවස්ථාව ගැන එකඟ විය නොහැකි වුවත් මාලින්ද සෙනෙවිරත්න වැනි අය ඉදිරිපත් කළ දේවල අප සංවාදයට ලක් කළ යුතුමය. උදාහරණයක් ලෙස අපගේ විශ්වවිද්‍යාල පද්ධතියේ බුද්ධිමය දරිද්‍රතාව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ විවේචන අපට බැහැර කළ නො හැකිය.මෙහිලා සම්පත් හා ප්‍රතිපාදන ඌණතාව පිළිබඳ ගැටළු ඇතත්, විශ්වවිද්‍යාල ස්වාධිනත්වය පිළිබඳ කාරණයේදී මෙන්ම මෙහිදීද තිබෙන සම්පත් ආශ්‍රයෙන් උපරිමය කරනවාද යන ප්‍රශ්නය අප අවංකව සිතා බැලිය යුතුය. අනෙක් අතට මේ සිටින පරම්පරාවම ගැන බලාපොරොත්තු තබා ගන්නවා විනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඟහරු ලොවින් ආනයනය කිරීමට ද නො හැකිය. අපේ අරගලය මෙතැන් සිට ඉදිරියට යායුත්තේ අප තුළ ඇතිවිය යුතු වෙනස   කුමක්ද යන්න ද ඇතුළත්ව මිස, බාහිර වැරැද්ද පමණක් උලුප්පා දක්වමින් නොවේ. වෘත්තීය ගරුත්වය යනු වැටුප් පරිමාණය පමණක් නොවේ, මිනිසුන් අප පිළිබඳව දරන ආකල්පයද වෘත්තීය ගරුත්වයට ඇතුළත්ය. ඒ ආකල්පයට බලපාන්නේ අපගේ චර්යාවයි. ෆුටා යනු තවත් GMOA එකක් නොවන බව තහවුරු කිරීම අප ඉදිරියේ ඇති අභියෝගයකි. ෆුටා අරගලයේ වැදගත් ජයග්‍රහණයක් සේ මා දකින්නේ සිතන මතන නව තරුණ ආචාර්ය  පරපුරක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ඇති විවේචනවලට අභිමුඛ කිරීමය.  ඔවුන් අතරින් ඉදිරියට පැමිණි ඇතැමුන් ස්වේච්ඡාවෙන් ඒවාට මුහුණ දෙමින්, පිළිතුරු සපයමින් ඒවා සමග ගැටෙනු ෆුටා අරගලය තුළදී නිරීක්ෂණය කළ හැකි විය. ෆුටා අරගලය එවන් විවේචනලට භාවිතයෙන් පිළිතුරු දිය හැකි ඉදිරිපෙළක් නිර්මාණය කිරීමේ පදනම දමා තිබේ.

මා මෙතෙක් ලිවේ ෆුටා අරගලය එහිම සාමාජිකත්වය සම්බන්ධයෙන් ගත් විට එයට කරන ලද බලපෑමය.  අපි දැන් වෙනත් ක්ෂේත්‍රයකට මාරු වෙමු. එනම් ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් අතර සම්බන්ධයයි. ඉතා පැහැදිලිව ෆුටා අරගලය එතෙක් ආචාර්යවරයා සහ ශිෂ්‍යයා අතර පැවති සම්බන්ධය විපරිවර්තනයට ලක් කළේය. යා දෙක නොරත රත ෆුටා අරගලයේදී පෑහුනේය. නොසැලකිය යුතු තරම් සුළු දෙනෙකු හැරෙන්නට සිසුන් මෙහිදී “ආචාර්යවරුන්ගේ අරගලයට” තමන් “පාවිච්චි කළා” යයි සිතන්නේ නැත. (මෙය ආචාර්යවරුන්ගේ අරගලය ලෙස හැඳින්විමම බරපතල වරදකි. ඇතැම් විට සමහර සිසුන් පවා අපි සර්ලගෙ අරගලයට සහයෝගය දුන්නා යයි කීම පිළිබඳව මම කිහිප වරක්ම සිතා ඇත්තෙමි. වැටුප් ඉහළ දැමීමේ ඉල්ලීම හැරුණු විට 6% ඉල්ලීම මෙන්ම විශ්වවිද්‍යාල ස්වාධිනත්වය හා නිර්දේෂපාලනිකරණය ඇතුළු අනික් ප්‍රධාන ඉල්ලීම් ඍජුව ම ශිෂ්‍යයන්ටත්, පොදුවේ මහජනයාටත් අදාළ ඉල්ලීම්ය. 6% අයිසින් එකක් යයි කියන අය විශ්වවිද්‍යාල ස්වාධිනත්වය පිළිබඳ ඉල්ලීම අයිසින් එකක් යයි නොකියන්නේ ඇයි? වැටුප් පිළිබඳ ඉල්ලීම වුව හරයාත්මක වශයෙන් ගත් විට විශ්වවිද්‍යාලවල අනාගතය සම්බන්ධ වුවක් වන අතර එනයින් ජාතික වැදගත් කමකින් යුතු ඉල්ලීමකි.) සිසුන් සහ ආචාර්යවරුන් බෙදා පාලනය කිරීමේ පිළිවෙත මින් පසු එතරම් පහසු වනු ඇතැයි මම නොසිතමි. අනෙක් අතට මෙය වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ ගනණාවකින්වත් ඇති කළ නොහැකි තරමේ සංවාදයක් මේ දෙපිරිස අතර ඇති කළේය. සිසුන් අපගේ තීරණ හා ක්‍රියාමාර්ග ඍජුව විවේචනය කළ අවස්ථාවලදී දැක්වූ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය ආස්වාදජනකය. අපගේ විශ්වවිද්‍යාලවල බුද්ධිමය සංස්කෘතියක් පෝෂණයවීමට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ  ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළදී සිසුන් මේ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය පෙන්නුම් නොකිරීමය.ආචාර්යවරයා බුද්ධිමය කුසීතයෙකු වන්නේ අභියෝගයක් නැති ශිෂ්‍යයා ඉදිරියේය.ඉදිරියේදී  පන්ති කාමරය තුළදීත් මේ ස්වාධිනත්වය සහ නිර්භීතභාවය සිසුන් කෙරෙන් ප්‍රකට වෙතොත් එයද මේ අරගලයෙන් ලද මහඟු ජයක් වනු ඇත. විශ්විද්‍යාල ශිෂ්‍යයා පිළිබඳව විශේෂයෙනුත්, විශ්වවිද්‍යාල පිළිබඳ පොදුවේත් අපකීර්තිමත් චිත්‍රයක් මවා පෑමට බොහෝ දෙනා යොදා ගන්නා නවකවදය වැනි නිශේධනීය කරුණු පිළිබඳව නයි-පොළොන් අන්තවල නොසිට සාධනීය සංවාදයක් මගින් පිළිතුරක් සෙවීමත්, මේ ඇතිකරගත් යහපත් සම්බන්ධය වැඩිදුර වර්ධනය කිරීමත් ගුරු-සිසු දෙපක්ෂයේ ම වගකීමය. අනෙක් අතට විවිධ මත දරණ සිසුහු මේ අරගලයේදී එකට වැඩ කළහ. අන් මතය කෙසේ හෝ යටපත් කොට තම මතය දිනවීමේ  ශිෂ්‍ය දේශපාලනයේ යල්පැනගිය ක්‍රමවේදය වෙනුවට තම මතය මත ශක්තිමත්ව දෙපා තබාගෙන අනෙකා සමග සංවාද කිරීමේත්, පොදු අරගලයකදී එක්ව වැඩ කිරීමේත් අත්දැකීම ඔවුන් ලබන්නට ඇත. සමස්තයක් ලෙස අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට සංවාදප්‍රිය එහෙත් ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස එකට බැඳී ඉදිරියට යාමේ මාවත විවර වී තිබේ. කෙටිකාලීන ගොඩ වැඩි කරගැනීමේ කෝණයෙන් නොබලා දිර්ඝකාලින ප්‍රතිපල සලකන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මේ ස්වර්ණමය අවස්ථාව මග නොහැරිය යුතුමය.   

තෙමසකට අධික කාලයක් දිග්ගැස්සුණු වර්ජනය අත්හිටවීමට ෆුටා ගත් තීරණය පාවාදීමක් ලෙස අර්ථකථනය කිරීමට පෙර අප ඒ වර්ජනය සිදුවූ සමාජ දේශපාලන වටපිටාව සැලකිල්ලට ගත යුතුය. රටෙහි ප්‍රබල විපක්ෂයක් නැත. වර්ජනය පැවති කාලයේදීම පැවැත්වුණු ආසන්නතම මැතිවරණ දෙකෙන්ම ආණ්ඩුව ජයග්‍රහණය කළේය. වංචා, දුෂණ, අක්‍රමිකතා, මර්දනය පිළිබඳ දහසකුත් එකක් චෝදනා පැවතියත් ආණ්ඩුව තවමත් ප්‍රබලය. ෆුටා අරගලයට මහජන සහය ලැබුණු බවත් ඡන්දය දීමෙන් ෆුටා අරගලයට විරුද්ධවීමක් අදහස් නොවන බවත්   සැබෑවකි. එහෙත් තම පාලනයට එරෙහි ප්‍රබල අභියෝගයක් නොපෙනෙන තත්වයක් තුළ කවර ඉල්ලීමක්වත් ලබා දීමට ආණ්ඩුවකට බලකෙරෙන්නේ නැත. ෆුටා අභියෝග කළේ එවැනි ආණ්ඩුවකටය; වරක් නිර්මාල් කීවාක් මෙන් තමන්ගේ හිසට ඉහළින් කපුටෙකුවත් ඉගිලිය යුතු නැතැයි සිතන තරමට බලයෙන් මත්ව සිටින පාලනයකටය. ෆුටා අරක නොකළේය, මේක නොකළේය, ජාතිවාදයට අභියෝග නොකළේය, යනාදී “විශ්ලේෂණ” ඉදිරිපත් කරන්නන් සියලු දෙනාට මග හැරෙන්නේ පශ්චාත් යුධමය ලංකාව තුළ මෙතෙක් දියත් කළ අභියෝගාත්මකම අරගලය ෆුටා අරගලය බවයි. එය දේශපාලනික මෙන්ම මතවාදීමය ජයග්‍රහණයකි. එය නිර්වින්දිත සමාජයක් වැරෙන් සෙලවූ අරගලයකි. කුහක නොවන ඕනෑම කෙනෙකුට, ගොබෙල්ස් මාධ්‍ය ජාලයකටත්, සංවිධිත මර්දන යාන්ත්‍රනයකටත්, මුහුණ දෙමින් ෆුටා ගෙනගිය අරගලයේ සමාජ දේශපාලනික වැදගත්කම අවතක්සේරු කළ නො හැකිය. ෆුටා සිය ඉල්ලීම් සියල්ල දිනා ගත්තේ නැති බව ඇත්තය. නමුත් ෆුටා මතය පැරදවීමට කිසිදු උත්සාහයකට හැකිවුයේ නැත. ගණන් හිලව් නැති ලියවිල්ලක් වුව අත්සන් කිරීමෙන් ෆුටා මතය පිළිගැනීමට ආණ්ඩුවට සිදු විය. ප්‍රතිපත්තිමය කරුණුවලට ඇඟිලි ගැසීමට වෘත්තීය සමිතිවලට අයිතියක් නැතැයි දැඩිව කියා සිටි ආණ්ඩුවක්, නාමිකව හෝ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළේය.

අනෙක් කරුණ නම් ෆුටා සාර්ථකව අධ්‍යාපන ප්‍රතිපත්ති හා ප්‍රතිපාදන පිලිබඳ සටන් පාඨය ලංකාවේ දේශපාලන කරළියට ගෙන ඒමය. ආණ්ඩුව කැමති වුවත් නැතත් ඉදිරි මැතිවරණවලදී අධ්‍යාපනය පිළිබඳ වැඩපිළිවෙල ඉදිරියට එනු ඇත. ඉන්දියාවේ පක්ෂවල මැතිවරණ පොරොන්දු අතරට අධ්‍යාපනයට ද.දේ.නි.යෙන්  6% වෙන් කිරීමේ පොරොන්දුව එක්වුයේ නිකම් නොවේ.  ඒ පිළිබඳව ගෙනගිය උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. පා ගමනට විපක්ෂ නායකයා සහ වෙනත් පක්ෂ නායකයන් සහ පාක්ෂිකයන් එක්වීම ෆුටා දේශපාලනීකරණය වීමක් ලෙස සරල ලෙස තේරුම් ගත් බොහෝ දෙනාට වෙනස්ව සත්‍ය වශයෙන්ම සිදු වුයේ එහි අනෙක් පැත්තයි. එනම් ලංකාවේ දේශපාලන අවකාශය ෆුටාකරණය වීමයි. සටන් පාඨයක්  අයිති කරගෙන සිටීමෙන් එය ජයග්‍රහණය කරන්නේ නැත. අයිතිකරගෙන බදාගෙන සිටීම ගැන කරදර වෙන්නේ එය දිනනවාද නැද්ද යන්නට වඩා එනිසා තමන් පැවතීම වැදගත් කොට සලකන්නේ නම්ය. වැදගත් වන්නේ සටන් පාඨයේ  අයිතිය නොව එය පැතිරවීමයි. 6% සටන් පාඨය සිය පාක්ෂිකයාට පැතිරවීම රනිල් වික්‍රමසිංහ මහතාම භාර ගන්න විට ෆුටා එක නෑ නෑ ඒක අපිම කරන්නම් යයි කිවයුතු නැත. ඉතා නිවැරදි ලෙස ෆුටා නියම මොහොතේදී ලංකාවේ දේශපාලන අවකාශයට අධ්‍යාපනය පිළිබඳ ගැටලුව ඇතුළු කොට තිබේ. සමහරවිට ඊළඟ මැතිවරණයකදී පරණ යුද ජයග්‍රහණ තුරුම්පුවට ඉහළින් එසවෙන තුරුම්පු ආසියා එය වීමට හොඳටම ඉඩ විවර වී තිබේ. අප වැඩ කළ යුත්තේ එය අනිවාර්යයක් කිරීමටය.

මේ සියල්ල ලියූ පසු මට මතකයට එන්නේ ෆුටා වර්ජනය නැවත්වීම පිළිබඳව කනස්සල්ල පල කළ මොරටුව සරසවියේ සිසුවෙක් කියූ කතාවකි. මා මුලින් ද  කිවූ ලෙස ඔහු මේ අරගලය සමග කෙතරම් අනුරාගිකව බැඳී සිටියේද යන්න ඔහු දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමෙන් මොනවට පැහැදිලි විය. මගේ මතකයේ හැටියට ඔහු ඇසුවේ “ඔය ලොකු ලොකු ගුණාත්මක කතා වැඩක් නෑ ප්‍රමාණාත්මකව කියන්න ලැබුණු දේ මොනවද කියලා” යන්නය. මෙයින් මට හැඟී ගිය දෙයක් නම් දැන් දැන් අපේ චින්තනය මැනේජ්මන්ට්කරණය වෙමින් ඇති බවකි. ඒ කියන්නේ අපි හැමදේම පිළිබඳව කළමනාකරණයේ භාෂාවෙන් සිතන්නට ආරම්භ කර ඇති බවකි. මා අසා ඇති ආකාරයට නම් ප්‍රමාණය ගුණය බවටත් ගුණය ප්‍රමාණය බවටත් පරිවර්තනය වේ.

6 comments:

  1. ප්‍රමාණාත්මකව ලැබුණු දේ පිළිබඳ ප්‍රශ්නය සෑම දෙසකින්ම ඇසෙයි. එසේ නොලැබුන නිසා මෙම අරගලය අසාර්ථක යැයි යන්නද ඒ ලෙසම ඇසෙයි. මෙවැනි ලිපි වලට (ඔබගේ බ්ලොග් අඩවියට ) වැඩි ප්‍රචාරයක් දීමට කටයුතු කරන්න. බ්ලොග් පිළිබඳ දැනුවත් කෙනෙකු සොයා මෙමෙ අඩවිය බ්ලොග් සින්ඩිකේටර්ස් වලට එකතු කරන්න. මමද බ්ලොග් වලට නවකයෙකු බැවින් දායකත්වයක් ලබාදීමට අසීරුය. පශ්චාත් අරගල සමයෙහි මිනිසුන් කියවිය යුතුම ලිපියකි මෙය. බොහෝ දෙනා ඔවුන් තුල තිබූ අනුරාගය නිසා ඇතිවූ පරාජිත සිතුවිලි මෙවැනි ලිපි කියවීමෙන් නැතිකරගන්නා බව මට විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. ඇත්තටම මට මේවා ගැන දැනුම අඩුයි. මේ අරගලය නිසාමයි මෙය පටන් ගත්තේ. ඔබට හැකි උදව්වක් කරන්න.

      Delete
  2. mmmmmmm ummmmmm....mmmmmmmmaaaaaaa.......

    ReplyDelete
  3. කථිකාචාර්ය (නො)දැනුම සමගින් වඳබහින ඔළු.....

    ලංකාවේ විශ්වවිද්‍යාල වලට, විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨ වලට එන බහුතරයක් පහල මැද පාංතික, ග්‍රාමීය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් දන්නේ නැහැ තමන් විශ්වවිද්‍යාලයට එන්නේ ඇයි කියල.වෛද්‍ය පීඨ වලට, ඉංජිනේරු පීඨ වලට, නීති පීඨ වලට එන කට්ටිය අඩු වශයෙන් හිතනවා තමන් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, පෙරකදෝරුවෙක් වෙන්න තමයි විශ්වවිද්‍යාලයෙදී වැඩ කරන්නේ කියල. නමුත් ශාස්ත්‍ර පීඨ වලට සහ දැන් දැන් විද්‍යා හා වාණිජ පීඨ වලට පවා තරමක් දුරට එන අයට තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ වගේ නිශ්චිත ඉලක්කයක් තුළ ස්ථානගත කිරීමට හැකියාවක් නැහැ. සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. විශේෂයෙන් පහල මැද පංතික පවුල් වල දරුවන් හැදීමේදී ඒ අයගේ පරිකල්පන ලෝකය තුළ විශ්වවිද්‍යාලය කියන්නේ තමන්ගේ දරුවන්ට අවසාන ගැලවුම ලඟා කර දෙන තැන් ලෙස ගොඩනැගිල තියෙන නිසා පහල මැද පංතික දෙමාපියෝ දරුවන්ව හදන්නේ කොහොමහරි විශ්වවිද්‍යාලයකට තල්ලු කරන්න.

    කථිකාචාර්ය තනතුරක් ලැබීම වනාහී කිසිම අදහසක් නැතිව එන්නම් වාලේ විශ්වවිද්‍යාලයට පැමිණි ග්‍රාමීය මැද පාංතිකයාට කෝටි ගානක ලොතරැයියක් ඇදුනා වැනි දෙයකි. ආර්ථික සුරක්ෂිත භාවයක් ඒ මගින් ලැබෙනවා මෙන්ම තම ඥාති වර්ගයා අසල්වැසියන් මෙන්ම සමාජය තුලද ගරුත්වයක්ද හොඳ තැනකින් කසාදයක් කරගැනීමට අවස්ථාවක්ද මේ නිසා පහල මැද පංතිකයන්ට උදා වේ. මේ චාන්ස් එක ලැබුනායින් පසු බිහිවන්නේ සාත්‍ර කියන ආකාරයේ critical intellectuals ලා නොව මොන ක්‍රමයකින් හෝ තමන්ගේ රස්සාව රැක ගැනීමට මාන බලන, ගෙයක් දොරක් හදාගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන, තමන්ගේ පාඩුවේ ජීවත් වීමට ප්‍රාර්ථනා කරන සාමාන්‍ය ස්ත්‍රී හා පුරුෂ ශරීරයන් ය.

    විශ්වවිද්‍යාල ඇතුලට ගිහින්, පරික්ෂා කරලා බැලුවොත් හොඳින් පේනවා, මේ කට්ටියට විශේෂයෙන්ම පසුගිය දශකය එකහමාර පමණ කාලය තුළ බිහි වූ කථිකාචාර්යවරුන්ට සමාජ දැනුම පමණක් නෙමෙයි තමන් විශ්වවිද්‍යාල තුල උගන්වන සීමිත විෂය ක්ෂේත්‍රයට අදාළ දැනුම පවා ප්‍රමාණවත් ලෙස නොමැති බව (මේ නිරීක්ෂණය නිශ්චිතව අදාළ වන්නේ ශාස්ත්‍ර පීඨ වලටයි.) උපාධි අපේක්ෂකයින් බහුතරයක් වනාහී ගුරුවරයාගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දුවක් ඇති වීමට තරම් දියුණු පිරිසක් නොවන නිසා මෙය කථිකාචාර්යවරුන් ගේ දැනුම ශිෂ්‍යයින් ඉදිරියේ පරීක්ෂාවට භාජනය වන්නෙම නැත. යම් කෙනෙකුට මේ අයගේ දැනුම ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවත් පංති කාමරය තුළ ඇති බල සම්බන්ධතාවය නිසා ඊට ඉඩක් ලැබෙන්නේද නැත. ඒ වැනි අවස්ථා වල කථිකාචාර්යවරු තමන්ගේ lecturer අනන්‍යතාවය චන්ඩි කමක් විදියට පාවිච්චි කරනවා....

    නිර්මාල් රංජිත් දේවසිරි
    X කණ්ඩායම
    උපුටා ගැනීම : මාතොට සඟරාව, 1999 ජුනි, පි. අ. 20-23

    ReplyDelete
    Replies
    1. This is a published document, anyway your point is?

      Delete
    2. ඇමිණුම 1. ඉහත ලිපිය සඳහන් නිර්මල්ගේ ලිපියේ කොටසකි මේ. මුළු ලිපියම ඇතුළු කළා නම් අගනේය.

      Delete