Tuesday 11 September 2012

අපි බයද ...අපිව බය කරන්න පුලුවන්ද?


 

අපි අපගේ අරගලයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටිමු. මේ වනාහි අපගේ එකමුතුභාවය, ශක්තිය සහ කැපකිරීම පමණක් නො ව අපගේ මානව අභිමානය ද පරික්ෂාවට ලක්කෙරෙන මොහොත යි.  සියලු ආකාරයේ තර්ජන, ගර්ජන, බියවැද්දීම්, අපහාස, උපහාස, අවමන්, අවලාද සියල්ලට මුහුණ දෙමින් අපි ඉදියට ම ඇදුනෙමු. අපට එරෙහි ව ගෙනා සියලු තර්ක විතර්කවලට ඇති තරම් පිළිතුරු දුන්නෙමු; කුඩා දරුවෙකුට පවා තේරෙන තරම් සරල ව, විස්තරාත්මක ව, සන්සුන් ව,  කරුණින් කරුණ, සියල්ල පැහැදිලි කළෙමු. ඉතා ම නිහතමානී නම්‍යශීලි මිනිසුන් ලෙස යම් සාධාරණ එකඟතාවකට  පැමිණීම සඳහා  අවංක සිතින් සාකච්ඡාවලට සහභාගී වීමු; තවදුරටත් සහභාගී වෙමින් සිටිමු. ඉවසිලිවන්ත ව, විනයගරුක ව, නීතිගරුක ව, වගකීමෙන් යුතු ව අපගේ අදහස සමාජගත කිරීම සඳහා වෙහෙසුනෙමු.

අපට එරෙහි ව කළ හැකි සියල්ල රජය කළේය. අනේකාකාර චෝදනා කළේය. ව්‍යාජ බුද්ධි වේශධාරින්ගේ සිට කුලියට කුණුහරුප ලියන්නන් හා කියන්නන් දක්වා විවිධ විකට රූප කරලියට ගෙනාවේය. ජුදාස්ලා පෝෂණය කළේය. වැටුප් නවතා අපගේත් අපගේ දුවා දරුවන්ගේත් ජීවිත ආර්ථික අපහසුකම්වලට ලක්වනු දැකීමේ කාලකන්නි සතුට භුක්ති වින්දේය. (අප හාමතේ නො සිටි බව සැබෑ ය. එහෙත් මාසික වේතනයෙන්  හතර අතේ බැංකුවලට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ඉතුරු වන මුදලින් “විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්” යන නම යන්තම්  බේරාගෙන ජිවත්වන්නට කරන “සටන” ගැන දන්නේ අප ම පමණි. එලෙස ජිවත් වන අපට මාස දෙකක් වැටුප් නැතිව ජිවත් වීම යනු සැබවින් ම අපහසු දෙයකි. එහෙත් අප ඒ සියලු අපහසුකම් විඳදරා ගෙන නොසැලී සිටින්නට සමත් වූයෙමු.) අප රැවටීමට උත්සාහ කළේය. උගුල්වලට හසු කර ගැනීමට උත්සාහ කළේය. මෙකී නොකී සියල්ල කළ ද පලක් නොවීය.

දැන් ඔවුන් වියරු වැටි ඇති සෙයකි; සම්මත මානව සදාචාරයේ අවම කොන්දේසි පවා උල්ලංඝනය කරන තරමට වියරු වැටී ඇති සෙයකි; කෙක්කෙන් බැරි නම් කොක්කෙන් න්‍යාය ක්‍රියාත්මක කරන්නට යන සෙයකි.

ඔවුන් මෙතරම් වියරු වැටී සිටින්නේ ඇයි? රටේ අනාගතය පිළිබඳ  ප්‍රශ්නයක් මතු ව ඇති විටෙක එය සාධාරණව සලකා බලනවා වෙනුවට එය සිය ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක් සේ ගෙන උමතුවෙන් මෙන් දොඩවන්නේ ඇයි? රටක පිළිගත් වෘත්තිකයන්   පිරිසක් නො ව අපරාධකරුවන් පවා  ආමන්ත්‍රණය කිරීමට යොදා නොගන්නා මට්ටමේ පහත් වචන භාවිත කරමින් තමතමන්ගේ නො හැදියාවේ සහ ග්‍රාම්‍යත්වයේ තරම ප්‍රසිද්ධියේ පෙන්වීමට තරම් ඔවුන් වියරු වැටි ඇත්තේ ඇයි?

අපි අපගේ අරගලයේ මෙතෙක් ගමන් මග කෙටි විමසුමකට ලක් කළ හොත් පිළිතුර ඉතා පැහැදිලි ය. රජය මුලින් ම අපගේ අරගලය ගැන සිතුවේ සරල ව ය. එය එතරම් දුර නො යනු ඇතැයි යන්න බලධාරීන්ගේ සාමාන්‍ය අදහස විය. තමන් දන්නා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකුගේ මට්ටමෙන් සමස්තය ගැන ගණන් බැලීමක් කරන්නට යාම මෙහි දී ඔවුන් කරගත් බරපතල ම වැරැද්දයි. තම දෙපා ළඟ දැවටෙමින් සුවච කීකරු ව “කන්න දෙනවා නම් අපට බොන්න දෙනව නම් මොන කෙන්ගෙඩිය ද තව ඕන කියන්නේ” යන න්‍යාය සිය ජිවන පැවැත්ම කරගත් කවටයින් කිහිප දෙනෙකුගේ මට්ටමින් සමස්ත විශ්වවිද්‍යාල අචාර්ය සංහතිය ම මැනීමට යාමෙන් තමන් සිදු කරගත් වැරැද්ද තවමත් ඔවුන්ට තේරී නැති බවක් පෙනී යයි. නිහඬ ව තම ශාස්ත්‍රීය ජීවිතයට මුල් තැන දී කටයුතු කරන කීර්තිමත් ජ්‍යෙෂ්ට ආචාර්ය මහාචාර්ය  පරපුරක් මෙරට සිටින බව ඔවුන්ට මගහැරී ගියේය.  එසේ ම තම ශාස්ත්‍රීය වගකීම මෙන්ම සමාජීය වගකීම ද පිළිබඳ සංවේදී නව පරම්පරාවක් විශ්වවිද්‍යාලවල අචාර්ය මණ්ඩලය නියෝජනය කරන බව ද ඔවුන්ට මග හැරී ගියේය. තනතුරු, වරදාන, වරප්‍රසාද, නොව මනුෂ්‍ය අභිමානය වැදගත් කොට සලකන, තර්ජන, ගර්ජන බියවැද්දීම් ඉදිරියේ ප්‍රතිපත්ති පාවාදීමට සූදානම් නැති ගැහැනුන් සහ පිරිමින් මේ පරම්පරා දෙකෙන් ම මතු ව විත් පෙරමුණ ගෙන, බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අභිමානයේත්, සමාජ වගකීමේත් අභිලාෂයන් පෙරට ගෙනෙනු ඇතැයි යන්න ඔවුන්ට මග හැරී ගියේය. 

ඉන් පසු සිදුවුයේ කුමක්ද? ඔවුන්ගේ ගණන් බැලීම්වලට ප්‍රතිවිරුද්ධ ව අප සියලු දෙනා ම එක ම පොදු අරමුණක් වෙනුවෙන් පසු නො බැස ඉදිරියට ම යාම ය. අපි අපගේ අරගලයේ දී ඔවුන් සිහිනෙන්වත් නොසිතූ ලෙස අපගේ අදහස් සමාජ ගත කිරීමට සමත් වීමු. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කිරීම පිටසක්වලින් ගෙනා අදහසක් සේ පෙන්වීමට ගත් උත්සාහයන් පරාජය කරමින් අපි එයට මෙරට බුද්ධිමතුන්ගේ සහය දිනා ගැනීමට සමත් වීමු. විශ්වවිද්‍යාල දේශපාලනීකරණයට හා අධ්‍යාපනයට කරන රාජ්‍ය ආයෝජනය කපාහැරීමට එරෙහි ව අප ගෙන ආ ඉල්ලීමට හිටපු උපකුලපතිවරුන්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිවරුන්, කීර්තිමත් මහාචාර්යවරුන් අප සමග එක පෙළට සිටගන්නා විට ඔවුන්ට සිටියේ හොඳක් නොහොඳක් නොබලා ඕනෑම දේකට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නලින්-අමරසේකර දෙබානත් ඊයේ පෙරේදා “සන්ඩේ ඔබ්සර්වර්” පත්‍රය විසින්  “ප්‍රමුඛ ආර්ථිකවිද්‍යාඥයෙකු” බව සොයාගන්නා තුරු කිසිවෙකුත් ඒ බව දැන නො සිටි  ලලිතසිරි ගුණරුවන් වැනි කවට කථිකයන් දෙතුන් දෙනෙකුත් පමණි. මෙරට සිතන මතන මිනිසුන් අපගේ අදහසට සංවේදී වූ බවට ඇති හොඳ ම සාධකයක් වන්නේ  මෙරට විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය විසින් අපගේ අරගලයට වෙන් කරන ඉඩ ප්‍රමාණයෙහි වෙනසයි. (ලංකාවේ ඡන්ද දිනන්නේ “නරඹන” ජනයාගේ ඡන්දවලින් මිස “කියවන” ජනයාගේ ඡන්දවලින් නො වේ. අප අතරමත්  ITN “නරඹන” ජනයා පිළිබඳ ප්‍රශ්නය කියා දෙයක් සාකච්ඡාවට ලක්වන නමුත් දිනමිණ  “කියවන” ජනයා යනුවෙන් ප්‍රශ්නයක් සාකච්ඡාවට ලක් නො වන්නේ මේ නිසා ය. දිනමිණ විකිනෙන්නේ නැති බව චිරප්‍රසිද්ධ කරුණකි. “නරඹන” ජනයාගේ ඡන්ද බලය ප්‍රබල වුවත් දිගුකාලීනව ගත විට ඡන්දය දීම පිළිබඳ ඔවුන්ගේ අදහස නිර්මාණය කරන්නේ “කියවන” ජනයා ය. මේ නිසා තමන්ට වැඩි ප්‍රමාණයක් මිනිසුන් ඡන්දය දී ඇති නිසා අපගේ අරගලය පොඩි පට්ටම් කිරීමට ජනවරමක් ලැබී ඇතැයි යමෙකු සිතනවා නම් අපට එයට කියන්නට ඇත්තේ තේරන භාෂාවෙන් නම් “මෝඩ චූන්” කියා ය.  ) මේ සිතන මතන මිනිසුන්ට ආසන්න ඡන්දයක දී එතරම් දෙයක් කළ නොහැකි වුවත් ඔවුන්ගේ බලපෑම ප්‍රබල ය. අනෙක් අතට අපි 6% ඉල්ලීම මෙරට ශිෂ්‍ය පරපුරේ සටන් පාඨයක්  බවට පත් කරන්නට සමත් වීමු. අප පරාජය කරන්නට ඔවුන්ට නො හැකිය. එසේ කිරීමට ඔවුන් කුමනාකාරයකින් හෝ සමත් වුව ද අපි අපගේ අදහස සමාජයේ යළි යළිත් ලියලන සමාජ ඉල්ලීමක් ලෙස දැනටමත් සමාජගත කොට ඇත්තෙමු.

ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන්ට සින්නක්කර ලියා දී ඇති දෙයක් නිසා අපට ඒ කලාපයට ඇතුළු නොවෙන්නැයි කියූ ගොඩවෙදුන්ගේ වංචාකාර මුසා බස් පැරදවීමට අපි සමත් වීමු. බලයේ නො සිටින තත්වයක දී වුවද මෙරට විපක්ෂනායකවරයා 6% ඉල්ලීම පිළිගැනීම  මගින්  ගොඩවෙදුන්ට නිසි පිළිතුරක් ලැබුණි. අනෙක් අතට වැඩි ඡන්දයෙන් බලයට පත්වූ රජයකට වුව එම  රටේ මිනිසුන් සිය ඉරණම තීරණය කිරීමේ පූර්ණ වරමක් දී ඇතැයි යන අදහස අපි අභියෝගයට ලක් කළෙමු. සමාජයට බලපාන පොදු කරුණුවල දී පුරවැසියාට මැදිහත්වීමට ඇති අයිතිය පිළිබඳ පණිවුඩය අපි සමාජයට ගෙන ගියෙමු.  තමන් සර්ව බලධාරී වන හෙයින් ඕනෑම දෙයක් කිරීමට බලය ඇතැයි සිතන අනභියෝගී බලාධිකාරයකට අපි අභියෝග කළෙමු. ඒ ඉදිරියේ  දණ නො නැමුවෙමු.

එපමණක් නො වේ. අපගේ අරගලය සෙසු වෘත්තීය සමිති හා සංවිධාන අතරට ගෙනයාමටත් ඔවුන්ගේ සක්‍රිය සහයෝගය දින ගැනීමටත් අපි සමත් වීමු. අධ්‍යාපනය වැනි කරුණක් අරබයා මෙතරම් පුළුල් වෘත්තීය සමිති සහයෝගිතාවක් ලංකාවේ මෑත කාලින ඉතිහාසය තුළ ගොඩනැගී නැතැයි කිවහොත් නිවැරදි යයි සිතමි.

මෙතෙක් ශේෂ පත්‍රය මෙබඳු ය. වියරු ප්‍රතිචාර එනිසා ය. කලබල වී ඇත්තේ ඔවුන්  ය. ඔවුන්ට හැමදාමත් අභියෝගය වූයේ අපගේ එකමුතුභාවය යි. මේ වියරු ප්‍රතිචාරවලට ද එක ම පිළිතුර එයයි.  මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයා පිළිබඳ ව සාධනීය ප්‍රතිරූපයක් සිතන මතන මිනිසුන් තුළ තහවුරු කරන්නට අපට හැකිවී තිබේ. ඔවුහු අප දෙස බලා සිටිති.  දැන් අපගේ අරගලය හුදු වැටුප් අරගලයක්වත්, වෘත්තීය අභිමානය පිළිබඳ අරගලයක්වත්, අධ්‍යාපනයට කරන රාජ්‍ය ආයෝජනය  වැඩි කරගැනීමේ අරගලයක්වත්, ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳ අරගලයක්වත් පමණක් නො වේ. දැන් එය මානව අභිමානය පිළිබඳ අරගලයකි. අප “මහජනයා” දිනා ගෙන නැති බව ඇත්තක් විය හැකි වුවත් මහජනයා වෙත පණිවුඩ ගෙනයන්නන් දිනාගැනීමට අපි සමත් වී සිටිමු;  ඔවුන්ගේ බලාපොරොත්තුව බවට පත් වී සිටිමු. අපගේ ශක්තිය ගැන අප ම අවත්කසේරු කර ගැනීම මේ මොහොතේ සිදු කරන බරපතල ම වරද යි. අප වටා "මහා ජන " පවුරක් ගොඩනැගී නැති වන්නට පුළුවන. එහෙත් මහා ජන පවුර ගොඩනගන බලවේග අපවටා පෙළ ගැසී අවසන් ය. 
අදහස් පරාජය කළ හැක්කේ අදහස්වලින් මිස බියගැන්වීම් හෝ ගැලරි කතාවලින් නො වේ. ඒවාට මාරුවීමෙන් ඔවුන් පෙන්නුම් කොට ඇත්තේ දැනටමත් අදහස් අතින් තමන් පරාජයට පත් ව ඇති බව ඔවුන් පිළිගෙන ඇති බවයි. අපි නො සැලී අපේ එකමුතුකමේ ශක්තියෙන් මේ ප්‍රචන්ඩත්වයට ද මුහුණ දෙමු. බලහත්කාරයෙන් වැඩට යොදවා මිනිසෙකුට කියා කාණුවක් කපා ගන්නවාක් මෙන් අපට කියා දේශන කරවා ගත නො හැකි ය. අප වෙනුවට වෙනත් සේවාවල මෙන් අදේශකයන් යොදවන්නට නො හැකි ය. ජුදාස්ලා අතලොස්සකට කළ හැකි දෙයක් ද නැත. වියරු වැටී ඇත්තේ මේ යථාර්තයට මුහුණ දීමට නො හැකිව ය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ දුවද්දී දැවීයාම්වලට හසු කර ගැනීමේ උපායන්ට හසු නොවී  සීරු මාරුවට අවශ්‍ය ඉතිරි ලකුණු ටික රැස් කිරීම යි.

No comments:

Post a Comment