‘නමය මගෙයි’
හෙවත් ‘Nine is Mine’ ව්‍යාපාරය
2006 ඔක්තෝම්බර් 16 වැනි දින ඉන්දියාවේ දිල්ලි නගරයේ දී දියත් කෙරුනේ අධ්‍යාපනය
සඳහා 6% ක් ද, සෞඛ්‍යය සඳහා 3% ක් ද, වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් වෙන් කිරීමට ඉන්දීය රජයට බලපෑම් කිරීම සඳහා ය. පාසල් දරු දැරියන් 4500 දෙනෙකුගේ
සාමාජිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපාරය ප්‍රාන්ත 23ක් පුරා පැතිරුණු සිවිල් සමාජ
සංවිධාන 3000 ක එකමුතුවක් වන Wada Na Todo Abhiyan (Keep Your Promise
Campaign) මගින් ඉදිරියට ගෙනයනු ලැබෙන්නකි.
එදා සිට අද දක්වා මේ ව්‍යාපාරය මගින් තම ඉල්ලීම දිනා ගැනීම සඳහා ප්‍රජා
සහභාගිත්ව වැඩසටහන්, රාජ්‍ය නාකයන් දැනුවත් කිරීම් හා හමුවීම්, පෙත්සම් අත්සන්
කිරීම්, විදේශීය සහයෝගිතාවන් ගොඩනැගීම් ආදී
විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ දරු දැරියෝ තම
ඉල්ලීම ඉටු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ.
පොරොන්දු නැවත මතක් කරමින් ඔවුහු අගමැති නිල නිවස ඉහළ අහසේ සරුංගල් යැවූහ. එපමණකින් නො නැවතුණු ඔවුහු නව ජනාධිපතිවරයා
වශයෙන් පත් වූ ප්රනාබ් මුකර්ජි හමුවී පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.
මේ ව්‍යාපාරයෙහි සිත්ගන්නා සුලු ලක්ෂණය වන්නේ එහි අවසන් අරමුණ වන්නේ දුප්පත්කම ජයගැනීම වීමයි.
අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම දුප්පත්කම තුරන් කිරීමට සම්බන්ධවන්නේ කෙසේ දැයි මන්
මෝහන් සිං අගමැතිවරයා හෝ ප්රනාබ් මුකර්ජි ජනපතිවරයා අසා නැත. එහෙත් ලංකාවේ උසස්
අධ්‍යාපන ඇමතිවරයා තප්පු ලෑවේ ‘අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්නේ සමෘද්ධිය කපලා’ දැයි
අසමිනි. අධ්‍යාපනය දුප්පත්කම දුරලීමේ ප්රමුඛ ම මාර්ගය බව නො දන්නා උසස් අධ්‍යාපන
ඇමතිවරයෙක් සිටින....අපි කොතරම් වාසනාවන්ත ද......?
එසේ ම නිත්‍ය සතුරු රාජ්‍ය දෙකක් මැද පිහිටි සිය රටෙහි ආරක්ෂාව වැදගත් නිසා
අධ්‍යාපනයට ප්‍රමුඛතාව දිය යුතු නැතැයි කියන ගණිත මහාචාර්යවරයෙක් ද තවමත්
ඉන්දියාවෙන් බිහි වී නැත. ( ඉන්දියාව කෙතරම් අවාසනාවන්ත ද?)
අපටත් මේ ව්‍යාපාරයෙන් ඉගෙනීමට යමක් ඇතැයි සිතමි. කරුණාකර පහත සබැඳියෙන්
ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස බලන්න.
No comments:
Post a Comment