මෙරට
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලයට එරෙහි වන්නන් විසින් දැන් දැන් විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ සුදුසකම් පිළිබඳවත්, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාදියෙහි හිඟකම
පිළිබඳවත්, වැඩ කරන පැය
ගණන පිළිබඳවත් ආදී වශයෙන් මෙකී නොකී අඩු ලුහුඩුකම් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ.
මාලින්ද සෙනෙවිරත්න මහතා මේ ප්‍රවණතාවෙහි නිල ප්‍රකාශකයා බවට ස්වාභිමතයෙන් පත් ව
ඇති අතර, අන්තර්ජාලයේ
දිගට හරහට ප්‍රතිචාර දක්වමින් ඉතා උද්යෝගයෙන් මෙයට සහභාගී වී සිටින කිහිප දෙනෙකු ද
මේ දිනවල කරලියට පැමිණ තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල සුදුසුකම් නැති ආචාර්යවරුන්
සේවය කිරීම පිළිබඳව මෙබඳු ප්‍රතිචාරකයන්ගේ කෝපය කෙතරම් ඉස්මත්තට පැමිණ ඇද්ද යත්
සමහරු වැටුප් වැඩි නො කළ යුතුය යන නිර්දේශයට අමතර ව ආචාර්යවරුන් සේවයෙන් පහ කිරීමේ
වැඩ පිළිවෙලවල් පවා රජයට ඉදිරිපත් කරති. සීරුමාරුවට කියවද්දී මේ ලියන්නන්ගේ
සැඟවුණු රාජපාක්ෂිකභාවය හෝ තමන්ගේ අතීත ජිවිතයේ යම් සිද්ධියක් නිසා විශ්වවිද්‍යාල
සමගත්, ආචාර්යවරුන්
සමගත් ඇති පරණ කෝන්තරයක සලකුණු සොයාගැනීම එතරම් අපහසු නැත. එහෙත් බොරුව සිය පාරක්
කියන විට එය ඇත්තක් වන්නේය යන විශ්වාසය තරයේ අදහන මොවුන් මෙය නොනවත්වා ම කරගෙන යාම
නිසා මෙරට අනාගතය කෙරෙහි තීරණාත්මක අරගලයකට එරෙහි ව නගන මේ නරුමාලාපවලට යම්
පිළිතුරක් සැපයිය යුතු ව තිබේ.
ඔව්, සාධාරණ ප්‍රවේශයක්
ගන්නේ නම් මේ විවේචනවලට පදනමක් නැතැයි කිව නො හැකි ය. වෙනත් ඕනෑම වෘත්තියක මෙන්ම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ද වෘත්තිනාශකයන් නැත්තේ නො වේ. පාසල් ගුරුවරුන්ගේ
සිට අමාත්‍යංශ ලේකම්වරුන් දක්වා ඕනෑම තරාතිරමක දී එබඳු වෘත්තිනාශකයන් සිටින බව
ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් කෙරෙන අනාවරනවලින් ඉතා පැහැදිලි ය. විශ්වවිද්‍යාල
සම්බන්ධයෙන් පමණක් මෙය වෙනස් වන්නේ නැත.
නමුත් ප්‍රශ්නය වන්නේ එවැනි දේ සාමාන්‍යකරණය
කළ හැකි ද යන්නයි. කලකට ඉහත දී මාවනැල්ල පැත්තේ වෛද්‍යවරයෙක් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙණ ස්ත්‍රීන්ගේ
අඩ නිරුවත සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කළ සිද්ධියක් වාර්තා විය. එසේ ම මීගමුව
පැත්තේ පෞද්ගලික රෝහලක දී තවත් වෛද්‍යවරයෙක්
එහි සේවය කළ හෙදියකට ලිංගික අතවර කොට උඩුමහලින් තල්ලු කළේ යයි චෝදනාවකට ලක්
විය. කවුරුන් හෝ මෙබඳු සිද්ධි කිහිපයක් මත පදනම් ව වෛද්‍යවරුන් යනු ලිංගික අතවරකරුවන්
ය යනුවෙන් සාමාන්‍යකරණයක් කළොත් එය නිවැරදි ද? රජයේ ප්‍රධාන ම මාධ්‍ය ආයතනයක මාධ්‍යවෙදියෙකු
වූ සුධර්මන් රදළියගොඩ විදේශ රැකියා ලබා
දෙන බව පවසා ලක්ෂ ගණන් මුදල් වංචා කොට ඇති බව අනාවරණය වී හමාර ය. සියලු ම මාධ්‍යවේදීන්
වංචාකාරයන් බවට මෙමගින් කිසිදු තහවුරුවක් ලැබෙන්නේ ද? කිසිසේත් ම
නැත. මන්ද යත් බොහෝ දොස්තර හොඳහිතලා මෙන් ම දූෂණයට හා භීෂණයට එරෙහි ව හඬ නගන අභීත
මාධ්‍යවේදීන් ද අනෙක් අතින් අපට දැක ගත හැකි බැවිනි. ඒ අනුව සාමාන්‍යකරණයක දී
වැදගත් වන්නේ මේ හොඳ ම සහ නරක ම දෙකොටසට අතරමැද සිටින පිරිසෙහි අඩු වැඩි බව යි.
සේවාස්ථානයට
වාර්තා නො කිරීම
මුලින් ම උසස්
අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය සුපුරුදු වගකීම් විරහිත මුඛයෙන් ප්‍රකාශ කරන ලදුව
දැන් දැන් ප්‍රහාරකයන්ගේ සුලබ ප්‍රකාශයක් බවට පත් ව ඇත්තේ බොහෝ ආචාර්යවරුන් තම
සේවාස්ථානයට වාර්තා නො කරන බවයි. මෙය
හරියට ම අර මුලින් කිව් ආකාරයට සියලු මාධ්‍යවේදීන් වංචාකාරයන්ය කීමට සමාන ප්‍රකාශයකි.
ඔව්, අතේ ඇඟිලි
ගානටත් ටිකක් වැඩියෙන් එවැන්නන් සිටින බව සැබෑ ය.
එහෙත් ඔවුන් හැරුණු විට බහුතර ආචාර්යවරු සතියේ දින පහේ පමණක් නො ව සති
අන්තයේ දී පවා විශ්වවිද්‍යාලයට පැමිණ තම රාජකාරි ඉටු කරන බව හොඳින් ම දන්නා පිරිස
නම් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ය. අනෙක් අතට සේවාස්ථානයට වාර්තා නො කරන
ආචාර්යවරුන්ට එරෙහි ව ක්‍රියා කළ යුත්තේ විශ්වවිද්‍යාල පරිපාලනය හා ප්‍රතිපාදන
කොමිසම යි. තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ ඔවුන් ය. සැබවින් ම එවැනි ආචාර්යවරුන්
පිළිබඳ ව කිසිදු පියවරක් නො ගන්නේ ඇයි ද යන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බහුතරයකට
ද ඇති ප්‍රශ්නයකි.සමහර විට මේ චෝදනාව ඉදිරිපත් කරන්නවුන් නො දන්නා රහසක් මෙහි තිබේ. මේ කියන පිරිස රජපාක්ෂිකයන් වීම එයට
ඇති ප්‍රධාන ම හේතුව යි. දේශපාලකයන්ගේ කුණු කොන්ත්‍රාත්තු වෙනුවෙන් වැඩ කිරීම,
දෙකයි පනහේ මාධ්‍ය වැඩසටහන්වල නිත්‍ය සම්(ගොම්)පත්දායකයින් වී සිටීම, වැනි මෙකී
නොකී කරුණු නිසා ඇත්තට ම ඔවුන්ට විශ්වවිද්‍යාලයට ඒමට කාලයක් ඉතුරු වන්නේ නැත. මිට
අමතර ව කුමක් හෝ වැරදීමකින් ආචාර්ය මණ්ඩලයට ඇතුළු කරගෙන ඇති උපන්ගෙයි අපතකම අත්
හැරි ය නො හැකි එකෙකු දෙන්නෙකු ද සිටින බව පිළිගැනීමට සිදුවේ. එහෙත් හිනහ යන කාරණය
නම් මේ අරගලයේ දී මේකියන පිරිස ඉන්නේ පාවාදෙන්නන්ගේ ගොඩෙහි වීම ය.
අධ්‍යාපන
සුදුසුකම්
තවත් ජනප්‍රිය
චෝදනාවක් බවට පත්වී තිබෙන්නේ ආචාර්යවරුන්ගේ අධ්‍යාපන සහ පර්යේෂණ සහ ප්‍රකාශන සුදුසුකම් ප්‍රමාණාත්මක නැත යන්නයි. ලංකාවේ
සියලු ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවාගනු ලැබ ඇත්තේත්, උසස්වීම් ලබා ඇත්තේත්
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් සම්මත බඳවා ගැනීමේ හා උසස්වීම් ලබාදීමේ
නිර්දේශයන්ට අනුකූල ව ය. සාමාන්‍යයෙන් ප්‍රථම උපාධියෙන් පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ
සාමාර්ථයක් හා අවුරුද්දකට නො අඩු තෘතීයික මට්ටමේ ඉගැන්විමේ හෝ පශ්චාත් උපාධි
මට්ටමේ පර්යේෂණ පළපුරුද්ද මූලික සුදුසුකම වශයෙන් සලකා විශ්වවිද්‍යාලයකට බඳවාගනු
ලබන ආධුනික කථිකාචාර්යවරයෙකුට උපරිම අවුරුදු හතක කාලසීමාවක දී පශ්චාත් උපාධියක්
සම්පුර්ණ කිරීමට සිදුවේ. නැත්නම් ඔහුගේ හෝ ඇයගේ රැකියාව අහිමි වෙයි. එතැන් සිට ජ්‍යෙෂ්ට
මහාචාර්යවරයෙකු දක්වා උසස්වීම් ලැබීමේ දී සම්පූර්ණ කළ යුතු සේවා කාලමය, පරිපාලනමය,
පර්යේෂණමය සුදුසුකම් රාශියක් තිබේ. මේ සුදුසුකම් සම්පූර්ණ කිරීම බොහෝ දෙනා සිතන
තරම් පහසු කාර්යයක් නො වේ. සාපේක්ෂ ව ගත්විට මෙතරම් සංකීර්ණ හා දුෂ්කර උසස්වීම්
පටිපාටියක් ලංකාවේ වෙනත් කිසිදු වෘත්තියකට නැත. ලංකාවේ සියලුම විශ්විද්‍යාල
ආචාර්යවරුන්ට ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිඩ්ජ් වැනි
විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි නැති බව ඇත්ත ය. එසේ කළ හැකි නම් එය ඉතා
අගනේ ය. එහෙත් අප දන්නා තරමින් ඉන්දියානු විශ්විද්‍යාල වත් එතරම් පොහොසත් තත්වයකට
ළඟාවී නැත. එහෙත් ඉන්දියානු රජය එරට
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කැපී පෙනෙන වැටුප් වර්ධකයක් ප්‍රදානය කරද්දී මෙබඳු
තර්ක ගෙන ආවේ නැත. එරට රජය කල්පනා කළේ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය
නගා සිටුවීම අතිශය තීරණාත්මක බවත් විශ්විද්‍යාල ආචාර්යවරයා යන වෘත්තියෙහි තත්වය
ඉහළ නො දමා එය කළ නො හැකි බවත් පමණි.
අනෙක් අතට
ලංකාවේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඒ හා සබැඳී ආයතනත් අනුබල හා අනුග්‍රහ
සපයන්නේ පශ්චාත් උපාධි සඳහා ආචාර්යවරුන් හැකි තරම් ඉන්දියාවට පැටවීමට ය. විශ්වවිද්‍යාල
ආචාර්යවරුන් බහුතරයකට දියුණු රටවලින් ලබාගත් පශ්චාත් උපාධි නැතැයි කියන්නන් කළ
යුත්තේ විහිළු සැපයීම නවතා මේ වැඩපිළිවෙළවල් වහා නවතා දමා දියුණු රටවල විශ්වවිද්‍යාලවලට
පමණක් ආචාර්යවරුන් යවන ලෙස බල කරමින් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පිකට් කිරීම ය. මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බහුතරයකට දියුණු
රටවල පශ්චාත් උපාධි සුදුසුකම් නැත්තේ මූලික වශයෙන්ම ආර්ථිකමය කාරණා නිසා මිස
ඔවුන්ට සුදුසුකම් හෝ ඒ සඳහා වන හැකියාව නැති නිසා නො වේ. මෙරටට එබඳු විශ්වවිද්‍යාල
සඳහා ලැබෙන සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය සුදුස්සන් නැති ව අහිමි වූ බවක් කිසිදාක අප
නම් අසා නැත. එසේම තරඟකාරී ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා සහ තමන්ගේ ම වියදමින් දුෂ්කර
ක්‍රියා කරමින් එබඳු සුදුසුකම් සම්පූර්ණ කර ඇති ආචාර්යවරුන් සෑහෙන ප්‍රමාණයක් ද මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ
සිටින බව මොවුන් නොදන්නේ ද? නැත්නම් ඕනෑ කමින්ම එය මග හරිනවාද? අනෙක් අතට එබඳු
සුදුසුකම් ලබා සිටිය දීත් එයට සරිලන වැටුපක් නො ගෙවනවා මදිවට මෙබඳු කුණු කතාත්
අසන්නට ලැබෙන විට එබඳු සුදුසුකම් සම්පුර්ණ කිරීමට පෙළඹීමක් ඇති වන්නේ කෙසේද?
පර්යේෂණ හා ප්‍රකාශන
දැන් පර්යේෂණ
හා ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නයට හැරෙමු. මේ පඬියෝ ( සමාවන්න මෙය මහා ම පඬියා වන
නලින් ද සිල්වා මහතාගෙන් ණයට ගත් වචනයකි. සාමාන්‍යයෙන් කෙනෙකුට පඬියා කියන්නේ ඔහුට
මෝඩයා යයි කියන්නට වුවමනා වූ විට ය. ඒ හාම බැඳුණු අර්ථය වන්නේ එය කියන තැනැත්තා
අනෙකාට වඩා බුද්ධිමත් බව ය. සාමාන්‍යයෙන් මම බුද්ධිමතා උඹ මෝඩයා යනුවෙන් තමා ම නම්
කර ගැනීමෙහි එතරම් වැදගත්කමක් නැත. අනෙක් අතට එවැනි බුද්ධිමතුන් හා එවැනි මෝඩයන්
පිළිබඳ බෙදීම වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදවල පිළිගැනීමට ලක් වන්නේ නැත. මන්ද මම
මෝඩයෙකු ලෙස සලකන කෙනා වෙනත් තැනක දී හෝ ක්ෂේත්‍රයකදී මට වඩා බුද්ධිමතෙකු විය හැකි
බැවිනි. මේ සියල්ල දැන දැනත් අපට ද මේ වචන පාවිච්චි කරන්නට සිදු වන්නේ අපට දිගින් දිගටම මෝඩයන් (පඬියන් ) යයි කියන
බැවිනි) ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පර්යේෂණ කරන්නේ නැතැයි ද, පිළිගත් ශාස්ත්‍රීය
ප්‍රකාශනවල ලිපි පල කර නැතැයිද මහා ඝෝෂාවක් කරති. සමහරු මේ දිනවල අන්තර්ජාල සෙවුම්
සෙවුම් යන්ත්‍ර පීරමින් ආචාර්යවරුන්ගේ ප්‍රකාශන සොයති. ගණන් මිණුම් පවා දක්වති. (
නෝනාවරුනි සහ මහත්වරුනි, කරුණාකර ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිවරයා, උප
සභාපතිවරයා සහ උපකුලපතිවරුන්ගේ නම් ද නිකමට
මෙන් සෙවුම් යන්ත්‍රයකට ඇතුළු කොට බලන්න. අමතක නො කොට රොහාන් රාජපක්ෂ, අජිත් දිසානයක
වැනි ඔබ දන්නා කියන මිත්‍රයන්ගේ නම් කිහිපයකුත් ඇතුළු කොට බලන්න. සමහර විට ඔබ
විශ්මයට පත්වන ආකාරයේ පර්යේෂණ පත්‍රිකා තොගයක් ඔබට හමුවීමට ඉඩ තිබේ.) ඔව්, අපි එකඟ
වෙමු. මෙහි ප්‍රශ්නයක් තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔබලා උලුප්පා දක්වන
තරම් පර්යේෂණ හීනයන් නොවූවත් සාපේක්ෂ ව ප්‍රමාණාත්මක පසුබෑමක් තිබෙන බව සැබෑ ය.
එහෙත් මේ ගැටලුවේ සංදර්භය කුමක්ද? ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සංස්කෘතියක්
ගොඩනැගී නැතිකම යි. මෙය ආචාර්යවරුන්ගේ කම්මැලිකමට හෝ උදාසීනකමට ලඝු කිරීම කඩේ යාමට හොඳ අකාරයක් වුවත් ප්‍රශ්නය ඇත්තට ම
විසඳීමට අවශ්‍ය වන්නේ නම් එතරම් හොඳ ප්‍රවේශයක් නො වේ. ඉවසිලිවන්ත ව අපි ප්‍රශ්නය
තෝරා ගන්නට බලමු.
පළමුවෙන්ම,
ලංකාවේ විශ්වවිද්‍යාල වනාහි ප්‍රථම උපාධි පිරිනැමීම ප්‍රධාන අරමුණ කරගත් ආයතන
පද්ධතියකි. ඒවා කාලාන්තරයක් තිස්සේ හැඩ ගැසී ඇත්තේ රටෙහි අධ්‍යාපන සැකසුම විසින්
ඒවාට හිමිකර දෙනු ලැබ ඇති මේ අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙනි. බොහෝ විශ්වවිද්‍යාලවල පශ්චාත්
උපාධි වැඩසටහන් පැවතුනත් ඒවා සීමිත මෙන්ම අප්‍රධාන ය. පශ්චාත් උපාධි ආයතන කිහිපයක්
පසු කාලීන ව බිහි වූ නමුත් ඒවා සීමිත ආචාර්ය මණ්ඩලයක් සහිත අයතන වෙයි. ප්‍රථම
උපාධියක දී මුල් තැන ලැබෙන්නේ යම්
ශික්ෂණයකට අදාළ දැණුම සහ කුසලතා වර්ධනය කිරීමට ය. මේ කාර්යයේ දී ආචාර්යවරයා සහ
ශිෂ්‍යයා අතර ඇතිවන්නේ මූලික වශයෙන්ම ඉගෙනුම්-ඉගෙනීම් සම්බන්ධයකි. ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල
ආචාර්යවරයා දේශනාශාලවට කොටු කිරීමේ උගුලක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ
පවතී. ලංකාවේ විශ්විද්‍යාලවල පවතින අචාර්ය
මණ්ඩලයේ හිඟකම ද මෙයට එක්වූ විට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට
ඉගැන්වීම් කටයුතු සඳහා වැය කිරීමට සිදුවන
කාලය වැඩි ය. (ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ විශ්විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ
එන්නේ නැතැයි ගෙනෙන චෝදනාව සම්බන්ධයෙන් ද මෙහිදී ම යමක් කිව යුතු ය. සාමාන්‍යයෙන්
මෙවැනි ශ්‍රේණිගත කිරීම්වල දී සලකන ප්‍රධාන කරුණු දෙකක් වන්නේ පශ්චාත් උපාධි
වැඩසටහන් සහ ගුරු-ශිෂ්‍ය අනුපාතය යි. මේවා බැරෑරුම් ව සලකන්නේ නැති ව රෙදි උස්සනවා
මෙන් ‘රෑන්ක්’ එක උස්සන්නේ
කෙසේ දැයි මේ මහත්වරුන් සහ නෝනාවරුන් අපට පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.) සිය
පශ්චාත් උපාධි සිසු සිසුවියන් සමග නිරන්තරයෙන් ගැටෙමින් පර්යේෂණ වටපිටාවක සිටින
අචාර්යවරයෙකුගේ පර්යේෂණ නැඹුරුතාව සහ එක ම සමාසිකයක දී පාඨමාලා ඒකක කිහිපයක් උගන්වමින්
සිය ප්‍රථම උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග නිරතරයෙන් ගැටීමට සිදුවන අචාර්යවරයෙකුගේ
පර්යේෂණ නැඹුරුතාව එක සමාන වීමට කොහොමටත් ඉඩක් නැත. ( ඇත්ත වශයෙන් ම සමහර අධ්‍යයනාංශවල
ආචාර්යවරුන්ට සිදුව ඇත්තේ පාඨමාලා කෙසේ හෝ ඇදගෙන යන්නට ය.)
අනෙක් අතට ලංකාවේ
පශ්චාත් උපාධි සංස්කෘතියක් බිහිවී නැත. සාමාන්‍යයෙන් කෙනෙක් සිය ප්‍රථම උපාධියෙන්
පසු කිසියම් නිශ්චිත ආර්ථික හෝ වෘත්තිමය අවශ්‍යතාවක් නැත්නම් පශ්චාත් උපාධියක්
සඳහා යොමුවන්නේ නැත. කොහොමටත් දැණුම යනු කඹුරන්නට සරිලන දැණුමක් පමණක් වීම ප්‍රමාණවත්
ය යන ආකල්පය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල ආකල්පය බවට පත් ව ඇති තත්වයක් තුළ
එවැනි සංස්කෘතියකට පදනමවත් වැටීමට ඉඩක් ඇත්තේ ද නැත. ඉන්දියාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසම මගින් වසරකට එරට සිසුන් දහස් ගණනකට දර්ශනශුරි උපාධි අධ්‍යයනය සඳහා කනිෂ්ට පර්යේෂණ
ශිෂ්‍යත්ව පිරිනම යි. ඒ වසර පහක කාලසීමාවක් සඳහා ය. පළමු වසර දෙකෙන් පසු ඒවා ජ්‍යෙෂ්ට
පර්යේෂණ ශිෂ්‍යත්ව බවට උසස් කරනු ලැබේ. පළමු වසර දෙක සඳහා මාසික දීමනාව ඉන්දියානු
රුපියල් 16000.00 කි. ඉන් පසු ව එය
ඉන්දියානු රුපියල් 18000.00 දක්වා ඉහළ
දමනු ලැබේ. මිට අමතර ව ඒ ඒ විශ්වවිද්‍යාල මගින් දර්ශනශුරි උපාධි අපේක්ෂකයන් සඳහා
පිරිනමනු ලබන ආයතනික ශිෂ්‍යත්ව ප්‍රමාණය ද දහස් ගණනකි. ඒ යටතේ ගෙවනු ලබන මාසික
දීමනාව ඉන්දියානු රුපියල් 8000.00 කි. ලංකාවේ ජනප්‍රිය කියමනක් වන්නේ ඉන්දියාවේ ‘පී.
එච්. ඩි කාරයන්’ වැහි වැහැලා යන්නයි. ‘පී. එච්. ඩි කාරයන්’ ගංවතුරක් හදාගන්නට
ඉන්දියාවට ඕනෑවී ඇති සෙයකි. අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමාට නම් ඇත්තේ මසකට තිස් දහස
ගනනේ ගෙවා පිටරට සිසුන් ගෙන්වා ගැනීමේ හදිස්සිය යි. ( මේ සඳහා අයදුම්පත් කැඳවීම
සාර්ථක තුන්වෙනි වතාවටත් දිගු කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
බලාගැනීමට පුළුවන. අයදුම්පත් ඇති තරම් ලැබී නැති බවක් පෙනී යයි.)
පශ්චාත් උපාධි
වැඩසටහන්, පර්යේෂණ, නව නිමවුම් ආදිය එකිනෙකට බැඳී ඇති දේ ය. අචාර්යවරුන්ට තනි
අතින් අප්පුඩි ගසන්නට නොහැකි ය. විශ්වවිද්‍යාල පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත්වීමේ එක්
මූලික කොන්දේසියක් නම් ඒවායේ පශ්චාත් උපාධි වැඩසටහන් ද ප්‍රථම උපාධි වැඩසටහන්වලට
සාපේක්ෂ ව දියුණු කිරීම යි. පශ්චාත් උපාධි වැඩ සටහන් දියුණු වන්නේ ඒ සඳහා ඉල්ලුමක්
පවතී නම් පමණි. බහුතරයක් සිසුන් උසස් අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවට එයින් පිටමං
කිරීම සිය වැඩපිළිවෙල කරගත් අරුම පුදුම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක් ඇති රටකින්
ඉන්දියාවේ වැනි පශ්චාත් උපාධි හැදෑරීම දිරිගැන්වීමේ වැඩ සටහන් ඉදිරිපත් වනු
ඇතැයිඅපට බලාපොරොත්තු විය හැකි ද? ( මගේ අම්මෝ 6%! එච්චර ගණනකින් මොනවා කරන්න
දැයි විශ්වවිද්‍යාල ආචාර්යවරු අහස පොළොව
නුහුලන ඉල්ලීමක් කරනවා මෙන් ඉස අත් තබාගෙන බැන අඬගසන අය මේවා පිළිබඳ වත්
සැලකිලිමත් වන්නේ නම් අගනේ ය.)
දෙවනු ව,
වර්තමාන දැනුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදුවන්නේ සංවිධානාත්මක වැඩසටහන්වල
ප්‍රතිඵල වශයෙනි. ඒ සඳහා වන මූල්‍යමය සහ වෙනත් පහසුකම් සපයනු ලැබේ. වෙනත් රටවල
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා ලැයිස්තු තරම් මෙරට ආචාර්යවරුන්ගේ
පර්යේෂණ පත්‍රිකා ලැයිස්තු දිග නැතැයි කෝචොක් දමන අය ඒ ලැයිස්තු දිග වුනේ යහමින් ප්‍රතිපාදන සපයන ලද දැවැන්ත පර්යේෂණ
වැඩසටහන්වල ප්‍රතිඵල වශයෙන් බව වසන් කරති.
මහත්වරුනි, නෝනාවරුනි, අඩු වැටුප් තල නිසා විශ්වවිද්‍යාල අචාර්යවරුන් ලෙස
බැඳීමට තරුණ උපාධිධාරීන් මැලි වන තත්වයක් තුළ පර්යේෂණ සහකාරවරුන් ලෙස ඔවුන් බඳවා
ගැනීම ගැන කුමට කියමු ද? ඡායාපිටපත් යන්ත්‍රයෙහි මුද්‍රණ තීන්ත බහාලුව නිම වූ විට
තවත් නව එකක් වෙනුවෙන් මාස ගණනාවක් බලා සිටින්නට සිදුව ඇති විට නැනෝ තාක්ෂණය ගැන
පර්යේෂණ කරන්නට අවශ්‍ය උපකරණ ගැන කුමන කතා ද? ඔබලා හඳට යන අය පෙන්වා ‘අර බලන්න අර
ගොල්ලෝ හඳට යනවා ඔයාල හඳට යන්නේ නෑනේ’ අපිට විහිළු කරති. කබල් බයිසිකල් කටුවකින්
හඳට යන්න! අනෙක් කාරණය නම් මේ සියල්ල
කරන්න කියන්නේ නොතරම් වැටුපකට වැඩ කරන අතරේ ය. අශ්වයා තුට්ටු දෙකට ගන්නත් ඕන, වැටට
උඩින් පනින්නත් ඕන!
හොඳයි, මේ
සියලු දුෂ්කරතා මැද පර්යේෂණයක් කලත් එය විමර්ශිත සඟරාවක පල කිරීම එතරම් පහසු
කාර්යයක් නො වේ. වර්තමාන ලෝකයේ ප්‍රකාශන සමාගම් හා ආයතන සංවිධානය වී ඇති ආකාරය
අනුව හුදෙක් පර්යේෂණ පත්‍රිකාවේ ගුණාත්මකභාවය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නැත. එයට
බලපාන මුල්‍යමය සහ සමහර විටක දී දෘෂ්ටිවාදාත්මක කාරණා ද තිබේ. ලංකාව වැනි රටකින්
හොඳ නිෂ්පාදන එන්නේ නැතැයි යන අදහස මෙරට විශ්විද්‍යාල ආචාර්යවරුන් නිසා ඇති වූවක්
නො ව රටේ සමස්තය පිළිබඳ අදහසකි. කුහකකම නම් මේ දෘෂ්ටිවාදීමය බාධකය ගැන හොඳින් ම
දන්නා නලින්ද සිල්වා මහතා ද, අනෙක් අය සමග එක පෙළට සිට මේ චෝදනාව නැගීම යි.
තෙවනු ව, මේ
පර්යේෂණ හා ප්‍රකාශන චෝදනාවේ තවත් පැත්තක් ද පෙන්වා දිය යුතුය. විශේෂයෙන් ම මානව
ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙය අදාළ ය. ඇත්තට ම අප රටට
මේ මොහොතේ අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශිත සඟරාවල ලිපි පලකිරීමේ ඉලක්කය
හඹා යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද නැත්නම් රටෙහි සමාජීය,දේශපාලනික, හා සංස්කෘතික
ගැටළු කෙරේත්, මහජනයා කෙරේත් සක්‍රීය ව බැඳී ‘රට පෙරට’ ගෙන යන්නට උරදෙන
බුද්ධිමතුන්ගේ පරපුරක්ද? ඇත්ත මේ දෙක එකිනෙකින් වෙන් කළ නො හැකිය. එහෙත් පෞද්ගලික
ආයතනවල විධායක නිලධාරීන් මෙන් වෘත්තිමය ඉලක්ක හඹා යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ
පරපුරක් බිහි වුවහොත් එය රටෙහි අනාගතයට එතරම් සුබදායක වනු ඇතැයි සිතිය නො හැකි ය.
ශාස්ත්‍ර ලෝභය එකකි; වෘත්ති උන්නතිකාමය තවත් එකකි. ආචාර්යවරුන්ගේ ලිපි සොයා
අන්තර්ජාලය පීරන මහත්වරුන්ට සහ නෝනලාට කුඩා අභ්‍යාසයක් දීමට කැමැත්තෙමි. කරුණාකර
එදිරිවීර සරච්චන්ද්‍ර යන නම ඇතුළු කොට ජාත්‍යන්තර ප්‍රකාශන ගණන බලන්න. ඒ එන ප්‍රතිඵලය
අනුව සරච්චන්ද්‍රයන්ගේ වැදගත්කම් තීරණය වනවා දැයි අපට කියන්න.
අවසාන වශයෙන්
කිව යුතු කරුණු තුනක් තිබේ. පළමු වෙන් ම යම් කිසි වෘත්තියක ගරුත්වය රැකෙන ආකාරයේත්,
එම වෘත්තීය ආරක්ෂා කළ හැකි ආකාරයේත් වැටුපක් පිළිබඳ ඉල්ලිමක දී දැනට ඒ වෘත්තියේ
යෙදී සිටින ඒ හෝ මේ පුද්ගලයාට ඇඟිල්ල දිගු කරමින්, ඒ හෝ මේ පුද්ගලයාගේ සුදුසුකම්
ප්‍රශ්න කරමින් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම හරියට ම කීවොත් ‘යන්නේ කොහෙද මල්ලේ
පොල්’ වර්ගයේ ප්‍රතිචාරයකි. වැටුප පිළිබඳ ප්‍රශ්නය වෘත්තියේ ප්‍රශ්නයක් මිස අරයාගේ
මෙයාගේ වැටුපේ ප්‍රශ්නයක් නො වේ. වැටුප් ඉල්ලන්නේ ද අරයාට හෝ මෙයාට නො වේ.
ගැඹුරින් සලකා බැලුවොත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කොට වැටුප්
පිළිබඳ ඉල්ලීම ඇත්තටම බලපාන්නේ අනාගතයේ මේ වෘත්තියට සම්බන්ධවීමට සිටින පිරිසකට හා
මේ වෘත්තියෙන් යම්දෝ නො යම්දෝයි දෙගිඩියාවකින් සිටින පිරිසකට ය. මේසන් බාස්ගේ
වැටුප මේසන් බාස්ලාගේ සාමාන්‍ය වැටුප මිස පියදාස බාස් උන්නැහේගේවත් ගුණදාස බාස්
උන්නැහේගේවත් වැටුප නො වේ. පියදාස බාස් උන්නැහේ හරියට ලඹේ අල්ලන්නේ නැතැයි කීම
මේසන් බාස්ලාගේ සාමාන්‍ය වැටුප පිළිබඳ ප්‍රශ්නයකට උත්තරයක් නො වේ. කරන්න තියෙන්නේ
පියදාස බාස් උන්නැහේ වෙනුවට වෙන බාස් උන්නැහේ කෙනෙක් වැඩට ගැනීම ය. එය වෙන ම කාරණයකි.
දෙවැන්න, මේ
සංසන්දන ඉදිරිපත් කරන බොහෝ දෙනා මේ සියල්ල සංසන්දනය කරන්නේ බටහිර යුරෝපීය හෝ
ඇමරිකානු තත්වයන් සමග ය. ජනාධිපතිතුමාගේ ද අරමුණ ‘ආසියාවේ ආශ්චර්යය’ බවට අප පළමු ව පත්විය යුතු බව ය.
එනිසා දුර යාමට පෙර ළඟ තිබෙන දේ දෙස මදක් ඇස හැර බැලීම ප්‍රයෝජනවත් ය. අනික ලංකාවේ
විශ්විද්‍යාල ආචාර්යවරුන් බටහිර යුරෝපීය හෝ ඇමරිකානු ආචාර්යවරුන්ට සමාන වැටුපක් ඉල්ලුවේ නැත. ඔවුන්ගේ
ඉල්ලීම වන්නේ විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩලයට දක්ෂ ම පුද්ගලයන් බඳවා ගැනීමට හැකි වන
ආකාරයටත්, බඳවා ගත් පුද්ගලයන් එම වෘත්තියෙහි දිගට ම රඳවා ගත හැකි ආකාරයටත්, එම
වෘත්තියේ ගරුත්වය ආරක්ෂාවන ආකාරයෙන්, අඩුම
තරමින් දකුණු ආසියානු කලාපයේ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තලවලට සාපේක්ෂ
ව සකසනු ලැබ ඇති වැටුප් වර්ධක එකඟතාව ක්‍රියාත්මක
කරන ලෙස යි. මේ සරල ඉල්ලීමට ඇමරිකානු මහාචාර්යවරුන්ගේ ප්‍රකාශන ලැයිස්තු සමග මෙරට
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශන ලැයිස්තු සංසන්දනය කරමින් හතර වරම් ගැසීමට
අවශ්‍යතාවක් නැත. අසල්වැසි ඉන්දියාව දෙස බලන්න. ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලට අමතර
ව, ප්‍රධාන විශ්වවිද්‍යාල යටතේ පවතින ප්‍රථම උපාධි සඳහා ඉගැන්වීම් කරන කොලීජි දහස්
ගණනක් තිබේ. විශ්වවිද්‍යාල පැත්තකින් තබමු. මේ කොලීජිවල ආචාර්යවරුන්ගේ ද තනතුරු
පටිපාටිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තනතුරු පටිපාටියම ය. එපමණක් නො ව එක්
දීමනාවක් ( මේ දීමනාව නිසා ඇති වන පරතරය ඉන්දියානු රුපියල් 3000.00 සිට 5000.00
දක්වා වන සුලු වෙනසකි) හා තවත් මුල්‍යමය නො වන වරප්‍රසාද කිහිපයක් හැරෙන්නට මූලික වැටුප් තල හා දීමනා ද සමාන ය. ඒ දීමනා රහිත ව වුවත් මේ කොලීජියක ආරම්භක
වැටුප් තලයේ සිටින ආචාර්යවරයෙක් ලබන වැටුප අපගේ විශ්වවිද්‍යාලයක ආරම්භක වැටුප්
තලයේ සිටින ආචාර්යවරයෙක් ලබන වැටුපට වඩා බෙහෙවින් ඉහළ ය. හොඳයි මහත්වරුනි ඔබලා
කියන සුදුසුකම් අපේ ආචාර්යවරුන්ට නැතැයි
අපි මොහොතකට පිළිගනිමු. එහෙත් දැන් මේ ඉන්දියානු කොලීජි ගුරුවරුන්ට ඇති
සුදුසුකම්වත් අපේ ආචාර්යවරුන්ට නැති නිසා ද ඊටත් වඩා අඩු වැටුපක් ඔවුන්ට ගෙවන්නේ?
අවසාන කරුණ
මෙය යි. මේ අරගලයේ අද ඉදිරියෙන් සිටින්නේ ලංකාවේ
විශ්වවිද්‍යාල පද්ධතියේ අඩු පාඩුකම්කම් පමණක් නො ව ඇතැම් අචාර්යවරුන්ගේ ම සිමාසහිතකම් පිළිබඳ ව වඩාත් ම
හොඳින් දැනුවත්, ඒ පිළිබඳ ව විවේචනශීලි, ඒවාට එරෙහි ව නිරන්තරයෙන් පෙනී සිටින හා
අරගල කරන පිරිසක් බව ඔවුන් පිළිබඳ ව තතු
දන්නෝ මැනවින් ම දනිති. (ඩිල්කා සමන්මලී නොදන්නා දෙය නම් ඇය ඉතා බරසාර ව
නිර්මාල්ගෙන් අසන ප්‍රශ්න නිර්මාල්ගේ ම ප්‍රශ්න බවයි.) නින්දෙන් ඇහැරුනාක් මෙන්
‘රෑන්ක්’ ගැන නන් දොඩවන බොහෝ දෙනාට පෙර විශ්විද්‍යාල තුළ තරුණ කථිකාචාර්යවරුන් අතර
මේ සාකච්ඡාවන් ඇති වූයේ මීට කලකට පෙර ය. මේ අරගලයේ සාධනීය ම ලක්ෂණය වන්නේ ජීවයෙන්,
අධිෂ්ඨානයෙන් හා තමන්ගේ සමාජීය වගකීම පිළිබඳ
අවබෝධයෙන් තමන්ට කලින් පරපුරෙහි විශිෂ්ටතමයන් සමග පෙරමුණ අරා සිටින්නේ මේ පරම්පරාව වීම යි.
මහින්ද අබේසුන්දරගේ ග්‍රාමය මඩ ප්‍රහාරවල සිට සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ ව්‍යාජ-දාර්ශනික
විශ්ලේෂනිය මඩ ප්‍රහාරවලටත්, වැටුප් කපා දැමීමේ සිට කෙරෙන අනවරත දුෂ්කරතාවන්ට ලක්
කරනු ලැබීමටත්, උපකුලපතිවරුන්ගේ මෘදු තර්ජනවල සිට සුදු වෑන් තර්ජන දක්වා ත්‍රස්තකිරිම්වලටත්,
සාර්ථක ව මුහුණ දෙමින් නොබිඳුණු අදිටනින් පෙරට ඇදෙන ඔවුන් දැනමත් ජයග්‍රහණ ලබා
අවසන් ය. විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු
සමාජසංවේදී පිරිසක් ය යන මහජන මතය ඇති කිරීමටත්, තමන් පිළිබඳ ව ජනතාව තුළ විශ්වාසක්
තහවුරු කිරීමටත් හැකිවීම ඔවුන් ලද විශාල ම ජයකි. එදා 6% දීමනාව විහිලුවට ලක් කළ අය
අද අධ්‍යාපනයට ප්‍රමුඛතාව දිය යුතු යයි රජය පිළිගන්නා බවට ප්‍රකාශ නිකුත් කිරීමට
පටන්ගෙන තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ ප්‍රකාශ විශ්වාස කළොත් ඔවුන්ට
සිදුවන්නේ රජය ඒවා කඩ කළ දිනක දී තමන් මහජනයා අතර ගොඩනගාගත් විශ්වාසය ද අහිමි කර ගැනීමට ය. මේ අරගලය දැන් විශ්විද්‍යාල
ආචාර්යවරුන්ගේ අරගලයක් පමණක් නො වේ. තමන්ට පෞද්ගලික ව සිදුවන පාඩුව නො තකා, රජයේ
මාධ්‍ය මගින් කරන විසකුරු උසිගැන්විම්වලට හසු නො වී මෙතරම් කාලයක් ඉවසා සිටින සිසු
සිසුවියන්ගේ ද අරගලයකි; එපමණකින් නොනැවතී මේ ඉල්ලීම් දිය යුතු යයි මහපාරට බට සිසු
සිසුවියන්ගේ අරගලයකි; තම දරුවාගේ අධ්‍යාපනය දිනෙන් දින අත පසුවෙනු දැක දැකත් මෙය අනාගතය වෙනුවෙන් වන අරගලයක්ය යන
වැටහීමෙන් ප්‍රාදේශීය දේශපාලකයන් ඇටවීමට මාන බැලූ කඩේ යන දෙමාපිය සංගම්වලට කිසිදු
දිනෙක සහය නො දී මේ අරගලයට ආශීර්වාද කරන දෙමාපියන්ගේ අරගලයකි; අපටත් අත්සන් කරන්න
ඕනෑ යයි පෙළ ගැසී පැමිණ අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබූ ලොකු කුඩා
මිනිසුන්ගේ අරගලයකි; මේ සටනට ආශීර්වාදය ලබා දෙන ආගමික නායකයන්ගේ අරගලයකි;
සහෝදරත්වයේ දෑත් දිගු කළ වෙනත් වෘත්තීය සමිති හා සංවිධානවල අරගලයකි; කොටින් ම මෙය
සාධාරණ හා රටේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන අරගලයක්ය යන විශ්වාසයේ සිටිමින් එයට සහය
දෙන ආශීර්වාද කරන මේ රටේ බහුතර ජනතාවගේ අරගලයකි. එනිසා ................
ආපසු නො
හැරේන්............... සීරුවෙන්........සිටින්..........
ප්‍රියන්ත, දර්ශන, විකුම් සහ ප්‍රශාන්ත මහත්වරුන් වැරදි අවබෝධයක් ගන්න එපා. ඔබේ කොමෙන්ටු මක දැමුවා නොවේ. සංස්කරණයකදී ආධුනික මා අතින් සිදුවූ අතපසු වීමකි. සමාවන්න. ඔබගේ අදහස්වලට ස්තුතියි. තව දුරටත් ඔබගේ අදහස් (විශයෙන්ම අඩු පාඩු පිළිබඳව) බලාපොරොත්තු වෙමි.
ReplyDelete