Tuesday 21 August 2012

විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ආණ්ඩුවේ පරාජයක් ......පෙරට ම යමු FUTA….!



උසස් අධ්‍යාපන ඇමතිවරයා දිගින් දිගට ම මෙරට මහජනතාවට කියන්නට උත්සාහ කළේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන වී නැති බවයි. ආණ්ඩුවේ මාධ්‍යත්, ඒවායේ පෙනී සිටින සට්ටඹිරාළලාත් කීවේ මේ වර්ජනයට විරුද්ධ ‘බොහෝ’ ආචාර්යවරුන් සිටින බවයි. සී. ඒ. චන්ද්‍රප්‍රේමටම එම වැටහීම ඇතිවී උද්දාමයට පත්ව යන්තම් සතියක් වත් ගෙවී ගොස් නැත. අජිත් දිසානායක අංශාධිපතිවරයා ලෙස තමා සතු බලතල අනිසි ලෙස පාවිච්චි කරමින්, නවක ආචාර්යවරුන් බලහත්කාරයෙන් සේවයේ යොදවමින් තමන් විසින් කරන සුනඛ චර්යාව උත්කර්ෂයට නංවමින් කැලණිය තම අධ්‍යයනංශයෙහි ආචාර්යවරුන් 26 දෙනාගෙන් 19 දෙනෙකු ම වැඩවරා නැති බවට උදම් අනා ගෙවී ගොස් ඇත්තේ දින කිහිපයකි. දැන් ආණ්ඩුවට සත්‍යයට මුහුණ දීමට සිදුව තිබේ. දිසානායක වැනි පාවාදෙන්නන් එකෙකු දෙන්නෙකුගේ පිහිටෙන් මේ බොරුව තවත් ඇදගෙන යා නො හැකි ය යන්න එම සත්‍යය යි; කැලණියේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානියා වැනි හෘද ශාක්ෂිය යන වචනය පවා ගැතිකම වෙනුවෙන් බිලිදෙන හෘද ශාක්ෂියක් නැති මහත්වරුන් චන්ද්‍රප්‍රේමලාට හදිසියේ ලියා එවන ‘පෙම් හසුන්වලින්’ තව දුරටත් පලක් නො වේය යන්න එම සත්‍යය යි; මෙරට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ අති මහත් බහුතරය විශ්විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අභීත නායකත්වය යටතේ නොසැලෙන ජවයෙන්, නොබිඳෙන එඩියෙන්, සිය ස්ථාවරයෙහි තිර ව පිහිටා සිටිමින් ඉදිරියට ම ඇදෙන්නේය යන්න එම සත්‍යය යි; සරල ව මෙරට විශ්විද්‍යාල පද්ධතිය අඩපන වී තිබේය යන්න එම සත්‍යය යි.  

ආණ්ඩුව කළ හැකි සියල්ල කළේය. මඩ ගැසුවේය; තර්ජනය කළේය; වැටුප් කැපුවේය; වැටුප ලබාදීමට නම් වර්ජනයට සහභාගී වන්නේ නැතැයි ලිපි භාරදෙන ලෙස කිවේය; විදේශගත වන්නේ නම් වර්ජනයට සහභාගී වන්නේ නැතැයි ලිපියක් අවශ්‍ය බව කිවේය; බොරු ප්‍රචාර කළේය; වැටුප් පරිමාණයන්  පිළිබඳ අමූලික බොරු කියමින් සාමාන්‍ය මහජනයා ඇවිස්සීමට උත්සාහ කළේය; මෙකී නොකී සියල්ල කොටත් අසාර්ථක වූ තැන තමන් විසින් කියූ බොරු තමන් ම පිළිගනිමින් විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ගෙන තිබේ. අජිත් දිසානායක දැන් කන්නාඩියක් ඉස්සරහට ගොස් තමන්ට ම හූ තියා ගත යුතු ය. චන්ද්‍රප්‍රේම මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එරෙහි “බොහෝ ආචාර්යවරුන්” සිටින්නේ යැයි තමාට ලණු දුන් එකාගේ බෙල්ලෙන් අල්ලා ගත යුතු ය.

අභියෝගය ඇත්තේ ආණ්ඩුවට ය. ආණ්ඩුව තව කොතරම් කාලයක් විශ්විද්‍යාල වසා ගෙන සිටින්නට ද? වසා දමා නැති පීඨ කිහිපය ඉබේ ම වැසී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. සනාතන සභා රැස්වීම් ආදිය නො පවත්වා එක පීඨයක් හෝ දෙකක් දිගට ම පවත්වා ගෙන යන්නේ කෙසේද? මෙරට විශ්වවිද්‍යාල වසා දමා අතීත රජයන් ගිය මගෙහි ම යන්නට හදන්නේ දැයි මහජනයා අතර නැගෙන භීතියත් සමග පළාත් සභා ඡන්දයකට මුහුණ දෙන්නේ කෙසේද?

සමහර විට කේවට්ට උපදේශකයන් උපදෙස් දී ඇත්තේ මහජනයා අතර ආචාර්යවරුන්ගේ අරගලය අප්‍රසාදයට පත් කරවන්නට මෙමගින් හැකි වනු ඇති බව ය. නැත්නම් මෙමගින් 23වෙනිදා රැළිය කඩාකප්පල් කිරීමට හැකි වනු ඇති බව ය. මෙය රැළිය කඩාකප්පල් කිරීමට ගත් තීරණයක් නම් එයින් ද පෙනෙන්නේ දැන් මේ අරගලයෙහි ශක්තිමත්භාවය ආණ්ඩුව පිළිගෙන ඇති බවයි. මේ මොන අතින් බැලුවත් විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ආණ්ඩුවේ පරාජයකි.

අපි 23 වෙනිදා රැළිය මෙරට නිදහස් අධ්‍යාපනයත්, සමාජ යුක්තියත් පිළිබඳ ඉතිහාසයෙහි ලියවෙන, අනාගත අරගලයන්ට පවා ආශ්වාදනීය ජවයක් සපයන, දැවැන්ත ම රැළියක් කරමු! පෙරට ම යමු FUTA………!

2 comments:

  1. Let's make the rally tomorrow, the largest ever one on Education!!Amarakeerthi

    ReplyDelete
  2. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය, මෑතකාලීන ලක් ඉතිහාසයේ ප්‍රබලතම වෘත්තීය සටනක් බවට සියලු පෙර ලකුණු පහළ වී හමාර ය. චන්ද්‍රෙප්මලාගේ පුස් වෙඩි, ඇමතිලාගේ හා සෙසු ඇම්බැට්ටයින්ගේ ප්‍රකාශ ද ඒ ප්‍රබල සටනට බිය වී කළ ඉතිහාසගත විහිළු බවට පත් වෙනු ඇත. ජය!!!

    ReplyDelete