Thursday, 30 August 2012

6% GDP for Education…A Worldwide Public Demand…!


First they said "6% GDP is nonsense"; then they said "it is the sum of expenditure on education including that of private sector and parents"; then they said "we are spending more than 6% GDP for education"; then they said "it’s unrealistic"; and now they say "It is our intention to spend a higher percentage of GDP on education, in accordance with the international standards". Not a word about next budget! What will they say tomorrow?
“A leading economist”, one Lalithasiri Gunaruwan, advised us to leave the policy matters to politicians. Pity on this Sunday Observer's "leading economist", he should better follow a 7th grade course in Civics before trying to be an advisor to FUTA.  
6% GDP for education is a worldwide public demand. Students, parents, intellectuals, and civil society organizations in many countries haven't left this "policy matter" only to politicians.  Some stories for your inspiration.

Philippines


In Philippines the demand for 6% GDP for education was initiated by the “Six will Fixcampaign, launched by the “Youth against Debt”.

As Aquino government has failed to reach the target yet, a new Campaign has been launched by the Education for All”, an alliance of youth and students; parents; school faculty and employees; and concerned citizens. Interestingly, one of their main slogans is: “No to education budget cuts! Re-channel military and debt spending to education! Allocate 6% of GDP to education!”
 

 
 

Dominican Republic


The most recent campaigns for increasing public expenditure in education, launched by The Coalition for Dignified Education in Dominican Republic, demanded an immediate increase up to 4% GDP for education from the 2011 budget. Although then President Leonel Fernandez proposed a 2.75% GDP for education in negotiations, representatives of the coalition did not agree and wowed to continue the campaign with a range of impressive activites.


 

 
 
 
 
 
 

Bangladesh

Campaign for Popular Education (CAMPE), a coalition of more than 1300 NGOs involved in literacy and Education in Bangladesh, demands allocating at least 20% of the total budget to education. The coalition has already made an appeal to the Prime minister of Bangladesh. In 2011, Civil society organizations demanded the Right to Education Act in Bangladesh and increase in national budget for education to 6% of GDP.

India

In an earlier post I shared with you the story of “Nine is Mine” campaign which is demanding the Indian goverment to keep the promise of allocating 6% GDP for education and 3% GDP for healthcare.

The present congress-led UPA government established the National Common Minimum Programme(NCMP) in 2004, a strategy that among others identifies the need to give greater importance to social sector expenditure. One of the major objectives of the NCMP is to increase public spending in education to at least 6% of GDP.
6% GDP for education has found a place in election manifestos too. Both BJP and CPI(M) had made it a clear promise. The Hindustan Times on 04, April 2009, carried an interesting comparison.

 

Thursday, 23 August 2012



 
සිත් සිත් නදන සිත් කළ

නෙත් නෙත් පහන් නෙත් කළ

අත් අත් එකට එක් කළ

ලත් යුත් සද් මිනිස් කැළ

 

පවුරක්ව නැගෙන නොබිඳෙන

ගඟුලක්ව නැගෙන නොසිඳෙන

වැස්සක්ව නිවන සරතැස

සුළඟක්ව හමන සිව්දෙස

 

රුදුරු මුසා බස් බිඳලූ                   ජන ගඟය

සියලු සතුරු කඳවුරු ඇස              ඉඳිකටුය

රටට හිතැති ජන ඇස ලෑ             අඳුන’රුය

මෙබඳු සොඳුරු සටනට නැති        අය වඳය    

 

ඇදුරු, දෙගුරු, සිසු, කම්කරු එක              පෙළට

උතුම් සඟන සෙත්සිරි ලැබ                   පෙළහරට

නැගෙන අයුරු බල සිදු රළ ලෙස                 යසට

ඉතින් කියව  මහරජ බිහිරි ද                         හඬට

 

 

Wednesday, 22 August 2012

Forget NEVER




අමතක කරන්නේ නෑ
ඔබව මතක තියාගෙන ඉන්නේ සිතේ
බලු වැඩ කරපු ලෙසේ
ඔබ රැඳෙයි සදාකල් අපගේ සිතේ ................

චන්ද්‍රප්‍රේමගේ රාජ්‍ය ප්‍රේමය සහ ශාස්ත්‍ර වෛරය ගැනත්, මාලින්දගේ ඇරියස් කවර් කිරීමේ අරුම පුදුම පුවත්පත්කලාවේදය ගැනත්.............


 

චන්ද්‍රප්‍රේම මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ප්‍රශ්න කරමින්  The Island සහ දිවයින පුවත්පත්වල ලිපි පළ කළේය. ඒවාට විශිෂ්ට පිළිතුරු ද ලැබුනේ ය. එකක් මෙරට සිටින  කීර්තිමත් මහාචාර්යවරයෙකු වන අමල් කුමාරගේ මහතාගෙනි. තවෙකක් කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරයෙකු වන චින්තක රණසිංහ මහතාගෙනි. අප දන්නා තරමින් චන්ද්‍රප්‍රේම මහතා මේ එකකටවත් ප්‍රතිඋත්තර දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඒ පිළිතුරු ගැන  කිසිවක් ම නො දන්නා අකාරයෙන් යළිත් වරක්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහි ව වෙනස් ම චෝදනාවලියක් ඉදිරිපත් කොට තිබේ. සාමාන්‍යයෙන් යම් විෂයයක් පිළිබඳ ව තමන්ගේ ම වූ තහවුරු කළ හැකි ස්ථාවරයක් සහිත ව,  බැරෑරුම් සංවාදයකට එළඹෙන්නෙක් වඩාත් ම ප්‍රීතියට පත් වන්නේ තමා ඉදිරිපත් කරන කරුණු කාරණාවලට හෝ තර්ක විතර්කවලට හෝ ප්‍රතිපාර්ශ්වීය ව කරුණු කාරණා  හා තර්ක ඉදිරිපත් වන විට ය. මක්නිසාද යත් එය තමාගේ මතය වඩා විස්තාරිතවත් ප්‍රබලවත් සනාථ කිරීමට මහඟු අවස්ථාවක් උදාකරදෙන බැවිනි. එහෙත් චන්ද්‍රප්‍රේම මහතාට එවැනි මතයක් හෝ ස්ථාවරයක් නැති නිසා ඔහු තමන්ට ලැබෙන පිළිතුරු ගැන සැලකිලිමත් නැත.

අනෙක් අතට මාලින්ද සෙනෙවිරත්න මහතා ආරම්භයේ සිට ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමා සමග සටනට කැඳවූයේ සිංහ වෙසක් ගනිමිනි. ඔහු විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ අන්තර්ජාලයේ කොමෙන්ටු හුවමාරුවක දී ඒ ආචාර්යවරුන්ට උපදෙස් දුන්නේ ආවේගශීලී නො වී, හැඟීම්වලට වහල් නො වී තර්කානුකූල ව සංවාදයේ යෙදෙන ලෙස ය. එහෙත් මාලින්ද මහතා අනුන්ට දෙන උපදෙස් තමන් පිළිපදින බවට සහතිකයක් ඔහුගේ ලිපිවලින් නම් කිසි විටෙකත් ලැබෙන්නේ නැත. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිළිබඳ ව ඔහු විසින් ලියන ලද මෑත ම ලිපිය (True academics are honest, humble and hard-working) නම් සාක්‍ෂි දරන්නේ මාලින්ද මහතා කෙතරම් ඉක්මනින් සුනඛ වේශයකට රූපාන්තරණය  වී ඇද්ද යන්න යි.

මෑතක් වනතුරු ම බොහෝ දෙනා අතර පැවති මිත්‍යාවක් වූයේ මහින්ද ආගියකතාසුන්දර සහ හඩ්ඩා වැනි අයත් චන්ද්‍රප්‍රේම සහ මාලින්ද සෙනෙවිරත්න වැනි අයත් අතර වෙනසක් ඇති බවයි. චන්ද්‍රප්‍රේම සහ මාලින්ද වැනි අය වඩා “බුද්ධිමත්” ,“විශ්ලේෂණාත්මක”  හා “තර්කානුකුල” පුද්ගලයන් බව ද, කඩේ ගියත් ක්‍රමේකට කඩේ යාම හෙවත් හඩ්ඩලා මෙන් රෙදි නැති ව කඩේ යාමට තරම් තත්වයකට ඔවුන් කිසිදා නොවැටෙනු ඇති බව  ද බොහෝ දෙනා විශ්වාස කළහ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නිසා ඇතිවූ බොහොමයක් යහපත් ප්‍රතිඵල අතරින් එකක් වන්නේ මේ බොරුව අනාවරණය වීම ය. ඇත්ත ම තත්වය නම්, මේ වන විට ඔවුන් විසින් හොඳින් ම පෙන්නුම් කර ඇති පරිදි ආගියසුන්දරලාට සහ හඩ්ඩලාට වඩා චන්ද්‍රප්‍රේමලා සහ මාලින්දලා නිර්ලජ්ජී පුද්ගලයන් බවයි; ඔවුන්ට වඩා දස දහස් ගණනක් භයානක සහ විසකුරු පුද්ගලයන් බවයි. එක් අතකින් ගත්විට ආගියසුන්දරලා සහ හඩ්ඩලා අහිංසක සුන්දර මිනිසුන් ය. මන්ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන රාජකාරියක් ලෙස අපට මඩ ගසනවා  හැරෙන්නට ඔවුන්ට විශ්වවිද්‍යාල හෝ ඒවායේ ආචාර්යවරු සමග පෞද්ගලික කෝන්තර ඇත්තේ නැත. අතීත හිතේ අමාරු ද නැත. කොන්ත්‍රාත්තු ද්වේශය මිස ඇඟ ඇතුළෙන් ම එන ද්වේශයක් ද නැත. එනිසා ම කුහකකමක් ද නැත. ඔවුහු මාලින්දලා සහ චන්ද්‍රප්‍රේමලා මෙන් වචන හරඹ කරමින් ඇත්ත නැත්ත කිරීමේත්, නැත්ත ඇත්ත කිරීමේත් කලාවේ කෙළපැමිණියෝ නොවෙති.

එහෙත් චන්ද්‍රප්‍රේම සහ මාලින්ද මහත්වරුන්ගේ තත්වය මීට හාත්පසින්ම වෙනස් ය. දැන් ඔවුන් සිය ලිපිවලින් පෙන්නුම් කරනුයේ මෙතෙක් ඔවුන්ගේ ලිපි සරසා තිබූ ව්‍යාජ-සාටෝප-බුද්ධිමය හා තර්කානුකූලභාවය සම්පූර්ණයෙන් ම ඉවත හෙළා අතට හසුවන ඕනෑම දෙයකින් ගසා දැමීමේ උමතු හැසිරීමකි. කවුරු හෝ ලවා කෙසේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙළ සිඳලීමේ උමතු ආශාවක් ඔවුන්ගේ ලිපිවලින් දැන් එළියට පැන තිබේ. මෙය හුදෙක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට වැඩි දෙයකි. ආගියසුන්දරට හෝ හඩ්ඩාට නැති තමන්ගේ ම න්‍යාය පත්‍රයක් ද  මොවුන්ට තිබේ. ඔවුන් හරියට ම හැසිරෙන්නේ “ගෝටාට ලනුවක් දීල හරි මුන්ට කෙලවලා ම දාන්න ඕනෑ” වැනි උමතු වෛරයකින් බව පැහැදිලි ය. 

මෙය නිකම්ම හිතට ආ සිතුවිල්ලක් නො වේ. බලන්න ඔවුන්ගේ ලිපි දෙස. අගෝස්තු විසිවෙනි සඳුදා “වම් ඉවුර” (අපි සියලු දෙනා ම කලින් කලට අපගේ අදහස් වෙනස් කරමු. අපගේ ජීවන අත්දැකීම්, නව ඥාන කලාපවලට විවරවීම, සහ වෙනස් සංස්කෘතීන්වලට විවරවීම වැනි බොහෝ කාරණා මේ සඳහා හේතු කාරක වෙයි.  ඒ අනුව ගත් විට යම් මිනිසෙකුගෙන් ‘ඔබ ඒ දිනවල කියූ කතා නෙවෙයි නේද දැන් කියන්නේ?’ යනුවෙන් ඇසීම අසාධාරණ ප්‍රශ්නයකි. මන්ද වෙනස්වීම මනුෂ්‍යයාගේ ආවේණික ගති ලක්ෂණයක් වන නිසා ය. ඇත්තට ම එය නරක ගති ලක්ෂණයක් නො ව වැදගත්, යහපත් ගති ලක්ෂණයකි. එහෙත් තක්කඩිකමට අදහස් වෙනස් කිරීම ඊට සම්පූර්ණයෙන් ම වෙනස් දෙයකි. අඩු ම ගණනේ තමන් තවදුරටත් වම් ඉවුරේ නැති බව පිළිගෙන “දකුණු ඉවුර” හෝ ඊටත් වඩා ගැළපෙන නමක් තමන්ගේ කොලමට යොදා ගැනීම කෙරෙහි චන්ද්‍රප්‍රේම මහතාගේ අවධානය යොමු වන්නේ නම් මැනවි.)  විශේෂාංගයට ඔහු ලියූ කොලමෙහි මාතෘකාව වන්නේ “විදේශීය මුදල් ලබන වෘත්තීය සමිති” යන්න යි.  ඒ මාතෘකාව දකින කිසිවෙකුත් එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට මෙලෝ සම්බන්ධයක් ඇති දෙයක් යයි සිතන්නේ නැත. එහෙත් පළමු වචනයේ සිට අවසන් වචනය දක්වා චන්ද්‍රප්‍රේම මහතා ලියා ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පරාජය කිරීමේ නොව තලා පොඩිපට්ටම් කිරීමේ දුෂ්ට අභිප්‍රායෙනි. කොහෙන්දෝ සොයාගත් පාවාදෙන්නන් දෙදෙනෙකුගේ තොරතුරු උපුටා දක්වමින් ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති අරගලයට අවලාද නගන චන්ද්‍රප්‍රේම මහතා වඩාත් වෛරී සහගත ප්‍රහාරයට එළඹෙන්නේ එහි දෙවැනි කොටසේ දී ය. ඒ පිළිබද ව සාකච්ඡා කිරීමට පෙර මුල් කොටස පිළිබඳව ද යමක් කිව යුතු ය.

මීට කලින් මගේ බ්ලොග් සටහන්කින් ද දැක්වූ පරිදි අජිත් දිසානායකලා කිවූ බොරු දැන් අතේ පත්තු වී හමාර ය. අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල වසාදැමීමට ගත් තීරණයෙන් ඔහු ම පිළිගෙන ඇත්තේ මේ වර්ජනය නිසා විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වී ඇති බවයි. එයින් ඇඟවුම් කෙරෙන්නේ අජිත් දිසානායක වැනි ආත්මාර්ථය වෙනුවෙන් අම්මා අප්පා වුවත් පාවා දෙන එකෙකු දෙන්නෙකු හැරෙන්නට අති බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු ආචාර්ය සමිති සම්මේලනයේ නිවැරදි හා නොසැලෙන අභීත නායකත්වය යටතේ මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එක් ව සිටින බවයි.  එය  කිසිසේත් ම චන්ද්‍රප්‍රේමගේ පළමු වාක්‍යයෙන් ම කියවෙන ආකාරයෙන් “අයාලේ” යන අරගලයක් නො වේ. එය නිශ්චිත ඉලක්ක සහ නිශ්චිත වැඩපිළිවෙලක් සහිත ව, නිවැරදි නායකත්වයක් යටතේ ඉදිරියට ඇදෙන්නකි. අජිත් දිසානායක වැඩ වැරිය නො හැකියයි ලිපි පවා ලබා දී  වැඩකරගෙන යන දෙපාර්තෙමේන්තු හා අංශ (දෙපාර්තමේන්තු හා අංශ ? ) ගණනාවක ම නම් ද සඳහන් කළ බව චන්ද්‍රප්‍රේම කියයි. ඉතින් මෙහෙම “ගණනාවක් ම” වැඩ කරගෙන යනවා නම් විශ්වවිද්‍යාල වසා දැමුවේ ඇයි?

මේ අජිත් දිසානායක කිවූ තොරතුරු මත පදනම් ව චන්ද්‍රප්‍රේම කියන දේවල් ය. අජිත් දිසානායක ගැන ද මේ වෙලාවේ ම යමක් කිව යුතුය. අජිත් දිසානායක යනු කවුද? කන්න ඕනෑ උනාම කබරගොයාත් තලගොයා වනවා කියන්නේ මේවාට ය. මේ අර චන්ද්‍රප්‍රේමලා, මාලින්දලා කියන ආකාරයේ ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකාදිය පළ කොට දේශදේශාන්තරයේ ආර්ථිකවිද්‍යාඥයෙකු ලෙස පතළ කීර්තියක් ඇති පුද්ගලයෙක් ද? මාලින්ද මහතාගේ ම වචනවලින් කියනවා නම් “honest, humble and hard-working true academic” කෙනෙක් ද? “උඩ බලාගෙන කෙළ ගසන්නට එපා” යයි අපේ පාරම්පරික දැණුම අපට කියා දී ඇති බව ඇත්ත ය. එහෙත් අපිට මේවා කියන්නට සිදුවන්නේ මාලින්දලාට අපට ඇඟිල්ල දිගු කරන්නට පුළුවන් වී ඇත්තේ අජිත් දිසානායකලා වැනි අතලොස්සක් නිසා වන බැවිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඩු පාඩු, නුසුදුසුකම් ගැන ප්‍රකම්පිත හදින් යුතු ව පත්තර පිටු පුරවන මහත්වරු ම, එබඳු පුද්ගලයෙක් සඳහා වන හොඳ ම ජීවමාන උදාහරණයක් සමග එකට ලගිති. එසේ ලගින්නේ ඇත්තට ම එවැනි සුදුසුකම් සහිත බහුතරයක් ආචාර්යවරුන්ට එරෙහි ව ය. එහි පුදුමයක් නැත්තේ මේ මහත්වරුන්ට “කෙසේ හෝ මුන්ට කෙලවනවා” යන අරමුණට එහා ගිය ගැඹුරු අරමුණක් නැති බැවිනි. 

චන්ද්‍රප්‍රේමගේ ඊළඟ සම්පත් පුද්ගලයා කැලණිය විශ්වවිද්‍යාලයේ ම ක්ෂුද්‍රජීවවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී මහේන්ද්‍ර ගුණවර්ධන මහතා ය. ඇත්ත ම කියන්නේ නම් ඒ මහතා පිළිබඳ ව මා දන්නේ නැත. එහෙත් එතුමා විසින් චන්ද්‍රප්‍රේම මහතාට ලබාදුන්නේ යැයි කියන ලිපියෙහි ඇති කරුණු අනුව නම්  එතුමා එතරම් අවංක මනුෂ්‍යයෙකු බව පෙනෙන්නේ නැත. උදාහරණයකට චන්ද්‍රප්‍රේම මහතාගේ මුල් ලිපියක ද උලුප්පා දක්වා තිබූ අචාර්යවරුන්ගේ ළමයින් සඳහා පාසල් ගාස්තු ගෙවීම පිළිබඳ කාරණය FUTA ඉල්ලීමක් නො වන බවත්, එය  ආචාර්යවරුන් සඳහා විශේෂ සේවාවක් ඇතිකිරීමේ දී සලකා බැලීම සඳහා, රජයේ පාර්ශ්වයන්ගේ ඉල්ලීම පිට, ඉන්දියානු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එරට ආචාර්යවරුන් සඳහා සම්මත කොට ඇති ලියවිල්ලක් ගුරුකොටගෙන, ඉදිරිපත් කළ දළ කෙටුම්පතක සඳහන් වන දෙයක් බවත්, මේ වන විට ඕනෑවටත් වඩා පැහැදිලි කොට තිබේ. චන්ද්‍රප්‍රේම මේ කිසිවක් නො දන්නා සේ නැවත වරක් ක්ෂුද්‍රජීව අධ්‍යයනාංශ ප්‍රධානියාගේ කර පිට තබාගෙන ඒ බොරුව ම ගෙන එයි.  ක්ෂුද්‍රජීව අධ්‍යයනාංශ ප්‍රධානියා ද තොත්ත බබෙකු විය නො හැකි ය. ඔහු සිතන ආකාරයෙන් මෙය “දුෂ්ට” යෝජනාවකි. හාස්‍යය නම් එය පරාජය කිරීම සඳහා ඔහු ජයග්‍රහණය කරවීමට  උත්සාහ කරන්නේ මෙරට සමාජ සාධාරණත්වයේ පදනම වන නිදහස් අධ්‍යාපනය  විනාශ කිරීමේ වැඩපිළිවෙල යි. අපේ ජාතික උරුමයක් වන නිදහස් අධ්‍යාපනය විනාශකිරීම පිළිබඳ ව අබමල් රේණුවක සංවේදීභාවයක් නැති පුද්ගලයෙක් හෘද ශාක්ෂිය ගැන කතා කිරීම මට නම් තේරුම් ගත නො හැකි ය.

එසේ ම එතුමා “ඉලක්කම් පිළිබඳ මෝඩ තර්කවලට සූදානම් නැති බවත්”, 6% යෝජනාව හෙළා දකින බවත්, අපේ අධ්‍යාපනයේ තත්ත්වය හොඳ බවත් සිය ලිපියෙහි සඳහන් කොට ඇතැයි චන්ද්‍රප්‍රේම මහතා කියයි. මේවාට දීර්ඝ වශයෙන් උත්තර දීමේ තේරුමක් නැත්තේ අවශ්‍ය තරම් උත්තර දී තිබෙන නිසා ය. එහෙත් එක දෙයක් කිව යුතු ය. 6% ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීමක්ය යන්න එක අතකින් වැරදි ය. ඒ වූකලී ශ්‍රී ලංකා රාජ්‍යයේ පොරොන්දුවකි. ඒ අර්ථයෙන් ගත් විට මෙය පොරොන්දු ඉටු කරන ලෙස කරන ඉල්ලීමකි. අධ්‍යාපනයේ තත්වයේ හොඳකම ගැන කියන්නට ඈත දුෂ්කර ප්‍රදේශවල පාසැල් ගැනත්, පාසැල් වසා දමා ඇති ප්‍රමාණය ගැනත් සංඛ්‍යාලේඛන විග්‍රහ වැනි බරපතල දේවල් අවශ්‍ය වන්නේ නැත. ගෝර්කිගේ කෙටි කතාවක එන දන්කෝ මෙන් ඔබේ ඔය සංවේදී හෘද ශාක්ෂිය අතට ගෙන ඔබ සේවය කරන කැලණිය සරසවියේ ම ශිෂ්‍ය ආපනශාලා, නේවාසිකාගාර, දේශනශාලා අවට ඇවිද බලන ලෙස ක්ෂුද්‍රජීවවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානතුමාට ආරාධනා කරමි. ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි ගැන කතා කරද්දී මහා බ්‍රිතාන්‍යය මතක් වන ඔබතුමාට ඒවා දකින විටත් මහා බ්‍රිතාන්‍යය මතක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි. අවුරුදු පතා එක් සරසවි සිසුවෙක් වෙනුවෙන් වැය කරන මුදල පහළ වැටෙමින් තිබිය දී,  අධ්‍යාපනයේ තත්වය හොඳ යැයි කියන මෙතුමාගේ හෘද ශාක්ෂිය පිළිබඳ සුරංගනා කතාව අපි කෙසේ නම් විශ්වාස කරමු ද?

දැන් චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ දෙවැනි කොටසට හැරෙමු. මා මුලින් ද සඳහන් කළ ආකාරයට ද්වේශ සහගත ස්ව-න්‍යායපත්‍රය එලි දකින්නේ මෙහි දී ය. චන්ද්‍රප්‍රේම මහතා මහා භයානක ප්‍රවණතාවක් නිරීක්ෂණය කොට තිබේ. එනම් මෙරට සමහර වෘත්තීය සමිතිවලට විදේශ මුදල් ලැබෙන බව යි. ඔහු ඇඟට පතට නොදැනී පාඨකයාගේ ඔලුවට ඇතුළු කරන්නට යන්නේ ආචාර්ය සමිති සම්මේලනයටත් විදේශ මුදල් ලැබෙනවා යන අදහසයි. අපි කෙතරම් තාර්කික මිනිසුන් වුවත් සීනිගම දේවාලයට ගොස් මිරිස් අඹරන්නට හිතෙන්නේ මේ වැනි කතාවලට ය; මාසික වැටුප පවා අහිමි ව, මෙතරම් දුෂ්කරතා විඳිමින්, කරන අරගලයකට මෙතරම් සාහසික කතා කියන විට ය. චන්ද්‍රප්‍රේමලාගේ සිව්වරම් දෙවිවරුන් වන්නේ JVP, NGO, ඊළාම්වාදී බෙදුම්වාදීන්, සහ ඊනියා ජාත්‍යන්තර බලවේග යි. රටේ කුමන මනුෂ්‍ය කොටසක් හෝ වෘත්තිකයන් හෝ සිසුන් හෝ සාධරණ ඉල්ලීමක් කළ විට එක්කෝ එය ජ.වී.පෙ. කුමන්ත්‍රණයකි; නැත්නම් NGO කාරයන්ගේ වැඩකි; ඒත් නැත්නම් ඊළාම්වාදීන්ගේ වැඩකි; එසේත් නැත්නම් ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණයකි. ඇත්තටම 6% ඉල්ලීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස අර්ථකථනය කිරීමට චන්ද්‍රප්‍රේම මහතාට මිට වඩා පහසු මගක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට ඩෙඟා නැටූ කැබිනට් ඇමතිවරයාගෙන් ඒ සඳහා උපදෙස් ගත හැකි ය.

මෙතකින් නො නවතින චන්ද්‍රප්‍රේම විදේශ සම්පත් නියාමනයේ  දැවෙන අවශ්‍යතාව පෙන්වා දෙයි. මෙතෙක් වේලා බ්‍රිතාන්‍යයේ ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි ආදිය ගැන කියමින් එහි කරක් ගසමින් සිටි චන්ද්‍රප්‍රේමට දැන් හිටි හැටියේ ඉන්දියාව මතක් වෙයි. (විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි සඳහා ඉන්දියාව ආදර්ශයට ගන්නට හොඳ නැත. එය “දුෂ්ට” වැඩකි! විදේශ සම්පත් නියාමනය සඳහා ඉන්දියාව ආදර්ශයට ගන්නට හොඳ ය. එවිට එය “ශිෂ්ට” වැඩකි!) ඔහු ලිපිය අවසන් කරන්නේ විදේශ සම්පත් නියාමන කොමිසමක් පිහිටුවීමට යෝජනා කරමිනි. ඇත්තට ම චන්ද්‍රප්‍රේම මහතා මේ කියන්නේ කුමක්ද ? බොරු දේශහිතෛෂීභාවයෙන් වසා ගන්නට දඟලන කුහකකමේත්, ද්වේෂයේත් සෙළුව අපට නම් හොඳින් ම පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත ඇති දිලිසෙන කඩුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙසට යොමුවී ලෙලදෙමින් තිබෙනු දැකීමේ දුෂ්ට සිහිනයක් චන්ද්‍රප්‍රේම මහතා දකිමින් සිටී.

දැන් මාලින්ද මහතාගේ ලිපියට හැරෙමු. දීර්ඝ විස්තරයක් නො කරමි. එහෙත් මාලින්ද මහතාගේ ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයකි. ඔහුට විශ්විද්‍යාල අචාර්යවරුන් ගැන ලියන්නට පටන් ගත් මොහොතේ සිට එක් එක් මූණු මැවී පෙනේ. ඇත්ත වශයෙන් ම ඔහු ලියන්නේ ඒ මැවී පෙනෙන මුහුණු කිහිපයට ය.  ඉදිරියට එසේ වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ඉඩ තබා එක් නිරීක්ෂණයක් පමණක් ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් මිනිසුන් තම ප්‍රතිවාදියාට එරෙහි ව ආයුධ පාවිච්චි කිරීමේ දී සැලකිලිමත් වෙයි. කලබලය වැඩිවූ විට මේ සැලකිලිමත් බව අතුරුදන් වෙයි. ඒ මහතාගේ මෑත ම ලිපියේ දී බූමරංගයක් භාවිත කොට තිබේ. කරකැවී විත් තමන්ට ම වැදීමට ඉඩ තිබේ.          

Tuesday, 21 August 2012

විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ආණ්ඩුවේ පරාජයක් ......පෙරට ම යමු FUTA….!



උසස් අධ්‍යාපන ඇමතිවරයා දිගින් දිගට ම මෙරට මහජනතාවට කියන්නට උත්සාහ කළේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන වී නැති බවයි. ආණ්ඩුවේ මාධ්‍යත්, ඒවායේ පෙනී සිටින සට්ටඹිරාළලාත් කීවේ මේ වර්ජනයට විරුද්ධ ‘බොහෝ’ ආචාර්යවරුන් සිටින බවයි. සී. ඒ. චන්ද්‍රප්‍රේමටම එම වැටහීම ඇතිවී උද්දාමයට පත්ව යන්තම් සතියක් වත් ගෙවී ගොස් නැත. අජිත් දිසානායක අංශාධිපතිවරයා ලෙස තමා සතු බලතල අනිසි ලෙස පාවිච්චි කරමින්, නවක ආචාර්යවරුන් බලහත්කාරයෙන් සේවයේ යොදවමින් තමන් විසින් කරන සුනඛ චර්යාව උත්කර්ෂයට නංවමින් කැලණිය තම අධ්‍යයනංශයෙහි ආචාර්යවරුන් 26 දෙනාගෙන් 19 දෙනෙකු ම වැඩවරා නැති බවට උදම් අනා ගෙවී ගොස් ඇත්තේ දින කිහිපයකි. දැන් ආණ්ඩුවට සත්‍යයට මුහුණ දීමට සිදුව තිබේ. දිසානායක වැනි පාවාදෙන්නන් එකෙකු දෙන්නෙකුගේ පිහිටෙන් මේ බොරුව තවත් ඇදගෙන යා නො හැකි ය යන්න එම සත්‍යය යි; කැලණියේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානියා වැනි හෘද ශාක්ෂිය යන වචනය පවා ගැතිකම වෙනුවෙන් බිලිදෙන හෘද ශාක්ෂියක් නැති මහත්වරුන් චන්ද්‍රප්‍රේමලාට හදිසියේ ලියා එවන ‘පෙම් හසුන්වලින්’ තව දුරටත් පලක් නො වේය යන්න එම සත්‍යය යි; මෙරට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ අති මහත් බහුතරය විශ්විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අභීත නායකත්වය යටතේ නොසැලෙන ජවයෙන්, නොබිඳෙන එඩියෙන්, සිය ස්ථාවරයෙහි තිර ව පිහිටා සිටිමින් ඉදිරියට ම ඇදෙන්නේය යන්න එම සත්‍යය යි; සරල ව මෙරට විශ්විද්‍යාල පද්ධතිය අඩපන වී තිබේය යන්න එම සත්‍යය යි.  

ආණ්ඩුව කළ හැකි සියල්ල කළේය. මඩ ගැසුවේය; තර්ජනය කළේය; වැටුප් කැපුවේය; වැටුප ලබාදීමට නම් වර්ජනයට සහභාගී වන්නේ නැතැයි ලිපි භාරදෙන ලෙස කිවේය; විදේශගත වන්නේ නම් වර්ජනයට සහභාගී වන්නේ නැතැයි ලිපියක් අවශ්‍ය බව කිවේය; බොරු ප්‍රචාර කළේය; වැටුප් පරිමාණයන්  පිළිබඳ අමූලික බොරු කියමින් සාමාන්‍ය මහජනයා ඇවිස්සීමට උත්සාහ කළේය; මෙකී නොකී සියල්ල කොටත් අසාර්ථක වූ තැන තමන් විසින් කියූ බොරු තමන් ම පිළිගනිමින් විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ගෙන තිබේ. අජිත් දිසානායක දැන් කන්නාඩියක් ඉස්සරහට ගොස් තමන්ට ම හූ තියා ගත යුතු ය. චන්ද්‍රප්‍රේම මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට එරෙහි “බොහෝ ආචාර්යවරුන්” සිටින්නේ යැයි තමාට ලණු දුන් එකාගේ බෙල්ලෙන් අල්ලා ගත යුතු ය.

අභියෝගය ඇත්තේ ආණ්ඩුවට ය. ආණ්ඩුව තව කොතරම් කාලයක් විශ්විද්‍යාල වසා ගෙන සිටින්නට ද? වසා දමා නැති පීඨ කිහිපය ඉබේ ම වැසී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. සනාතන සභා රැස්වීම් ආදිය නො පවත්වා එක පීඨයක් හෝ දෙකක් දිගට ම පවත්වා ගෙන යන්නේ කෙසේද? මෙරට විශ්වවිද්‍යාල වසා දමා අතීත රජයන් ගිය මගෙහි ම යන්නට හදන්නේ දැයි මහජනයා අතර නැගෙන භීතියත් සමග පළාත් සභා ඡන්දයකට මුහුණ දෙන්නේ කෙසේද?

සමහර විට කේවට්ට උපදේශකයන් උපදෙස් දී ඇත්තේ මහජනයා අතර ආචාර්යවරුන්ගේ අරගලය අප්‍රසාදයට පත් කරවන්නට මෙමගින් හැකි වනු ඇති බව ය. නැත්නම් මෙමගින් 23වෙනිදා රැළිය කඩාකප්පල් කිරීමට හැකි වනු ඇති බව ය. මෙය රැළිය කඩාකප්පල් කිරීමට ගත් තීරණයක් නම් එයින් ද පෙනෙන්නේ දැන් මේ අරගලයෙහි ශක්තිමත්භාවය ආණ්ඩුව පිළිගෙන ඇති බවයි. මේ මොන අතින් බැලුවත් විශ්විද්‍යාල වසා දැමීමේ තීරණය ආණ්ඩුවේ පරාජයකි.

අපි 23 වෙනිදා රැළිය මෙරට නිදහස් අධ්‍යාපනයත්, සමාජ යුක්තියත් පිළිබඳ ඉතිහාසයෙහි ලියවෙන, අනාගත අරගලයන්ට පවා ආශ්වාදනීය ජවයක් සපයන, දැවැන්ත ම රැළියක් කරමු! පෙරට ම යමු FUTA………!

Monday, 20 August 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සුදුසුකම් ගැන........




මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලයට එරෙහි වන්නන් විසින් දැන් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සුදුසකම් පිළිබඳවත්, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාදියෙහි හිඟකම පිළිබඳවත්, වැඩ කරන පැය ගණන පිළිබඳවත් ආදී වශයෙන් මෙකී නොකී අඩු ලුහුඩුකම් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. මාලින්ද සෙනෙවිරත්න මහතා මේ ප්‍රවණතාවෙහි නිල ප්‍රකාශකයා බවට ස්වාභිමතයෙන් පත් ව ඇති අතර, අන්තර්ජාලයේ දිගට හරහට ප්‍රතිචාර දක්වමින් ඉතා උද්යෝගයෙන් මෙයට සහභාගී වී සිටින කිහිප දෙනෙකු ද මේ දිනවල කරලියට පැමිණ තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල සුදුසුකම් නැති ආචාර්යවරුන් සේවය කිරීම පිළිබඳව මෙබඳු ප්‍රතිචාරකයන්ගේ කෝපය කෙතරම් ඉස්මත්තට පැමිණ ඇද්ද යත් සමහරු වැටුප් වැඩි නො කළ යුතුය යන නිර්දේශයට අමතර ව ආචාර්යවරුන් සේවයෙන් පහ කිරීමේ වැඩ පිළිවෙලවල් පවා රජයට ඉදිරිපත් කරති. සීරුමාරුවට කියවද්දී මේ ලියන්නන්ගේ සැඟවුණු රාජපාක්ෂිකභාවය හෝ තමන්ගේ අතීත ජිවිතයේ යම් සිද්ධියක් නිසා විශ්වවිද්‍යාල සමගත්, ආචාර්යවරුන් සමගත් ඇති පරණ කෝන්තරයක සලකුණු සොයාගැනීම එතරම් අපහසු නැත. එහෙත් බොරුව සිය පාරක් කියන විට එය ඇත්තක් වන්නේය යන විශ්වාසය තරයේ අදහන මොවුන් මෙය නොනවත්වා ම කරගෙන යාම නිසා මෙරට අනාගතය කෙරෙහි තීරණාත්මක අරගලයකට එරෙහි ව නගන මේ නරුමාලාපවලට යම් පිළිතුරක් සැපයිය යුතු ව තිබේ.

ඔව්, සාධාරණ ප්‍රවේශයක් ගන්නේ නම් මේ විවේචනවලට පදනමක් නැතැයි කිව නො හැකි ය. වෙනත් ඕනෑම වෘත්තියක මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ද වෘත්තිනාශකයන් නැත්තේ නො වේ. පාසල් ගුරුවරුන්ගේ සිට අමාත්‍යංශ ලේකම්වරුන් දක්වා ඕනෑම තරාතිරමක දී එබඳු වෘත්තිනාශකයන් සිටින බව ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් කෙරෙන අනාවරනවලින් ඉතා පැහැදිලි ය. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පමණක් මෙය වෙනස්  වන්නේ නැත. නමුත් ප්‍රශ්නය වන්නේ  එවැනි දේ සාමාන්‍යකරණය කළ හැකි ද යන්නයි. කලකට ඉහත දී මාවනැල්ල පැත්තේ වෛද්‍යවරයෙක්  තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙණ ස්ත්‍රීන්ගේ අඩ නිරුවත සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කළ සිද්ධියක් වාර්තා විය. එසේ ම මීගමුව පැත්තේ පෞද්ගලික රෝහලක දී තවත් වෛද්‍යවරයෙක්  එහි සේවය කළ හෙදියකට ලිංගික අතවර කොට උඩුමහලින් තල්ලු කළේ යයි චෝදනාවකට ලක් විය. කවුරුන් හෝ මෙබඳු සිද්ධි කිහිපයක් මත පදනම් ව වෛද්‍යවරුන් යනු ලිංගික අතවරකරුවන් ය යනුවෙන් සාමාන්‍යකරණයක් කළොත් එය නිවැරදි ද? රජයේ ප්‍රධාන ම මාධ්‍ය ආයතනයක මාධ්‍යවෙදියෙකු වූ  සුධර්මන් රදළියගොඩ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණන් මුදල් වංචා කොට ඇති බව අනාවරණය වී හමාර ය. සියලු ම මාධ්‍යවේදීන් වංචාකාරයන් බවට මෙමගින් කිසිදු තහවුරුවක් ලැබෙන්නේ ද? කිසිසේත් ම නැත. මන්ද යත් බොහෝ දොස්තර හොඳහිතලා මෙන් ම දූෂණයට හා භීෂණයට එරෙහි ව හඬ නගන අභීත මාධ්‍යවේදීන් ද අනෙක් අතින් අපට දැක ගත හැකි බැවිනි. ඒ අනුව සාමාන්‍යකරණයක දී වැදගත් වන්නේ මේ හොඳ ම සහ නරක ම දෙකොටසට අතරමැද සිටින පිරිසෙහි අඩු වැඩි බව යි. 

සේවාස්ථානයට වාර්තා නො කිරීම

මුලින් ම උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය සුපුරුදු වගකීම් විරහිත මුඛයෙන් ප්‍රකාශ කරන ලදුව දැන් දැන් ප්‍රහාරකයන්ගේ සුලබ ප්‍රකාශයක් බවට පත් ව ඇත්තේ බොහෝ ආචාර්යවරුන් තම සේවාස්ථානයට වාර්තා නො කරන බවයි.  මෙය හරියට ම අර මුලින් කිව් ආකාරයට සියලු මාධ්‍යවේදීන් වංචාකාරයන්ය කීමට සමාන ප්‍රකාශයකි. ඔව්, අතේ ඇඟිලි ගානටත් ටිකක් වැඩියෙන් එවැන්නන් සිටින බව සැබෑ ය.  එහෙත් ඔවුන් හැරුණු විට බහුතර ආචාර්යවරු සතියේ දින පහේ පමණක් නො ව සති අන්තයේ දී පවා විශ්වවිද්‍යාලයට පැමිණ තම රාජකාරි ඉටු කරන බව හොඳින් ම දන්නා පිරිස නම් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ය. අනෙක් අතට සේවාස්ථානයට වාර්තා නො කරන ආචාර්යවරුන්ට එරෙහි ව ක්‍රියා කළ යුත්තේ විශ්වවිද්‍යාල පරිපාලනය හා ප්‍රතිපාදන කොමිසම යි. තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ ඔවුන් ය. සැබවින් ම එවැනි ආචාර්යවරුන් පිළිබඳ ව කිසිදු පියවරක් නො ගන්නේ ඇයි ද යන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බහුතරයකට ද ඇති ප්‍රශ්නයකි.සමහර විට මේ චෝදනාව ඉදිරිපත් කරන්නවුන් නො දන්නා රහසක්  මෙහි තිබේ. මේ කියන පිරිස රජපාක්ෂිකයන් වීම එයට ඇති ප්‍රධාන ම හේතුව යි. දේශපාලකයන්ගේ කුණු කොන්ත්‍රාත්තු වෙනුවෙන් වැඩ කිරීම, දෙකයි පනහේ මාධ්‍ය වැඩසටහන්වල නිත්‍ය සම්(ගොම්)පත්දායකයින් වී සිටීම, වැනි මෙකී නොකී කරුණු නිසා ඇත්තට ම ඔවුන්ට විශ්වවිද්‍යාලයට ඒමට කාලයක් ඉතුරු වන්නේ නැත. මිට අමතර ව කුමක් හෝ වැරදීමකින් ආචාර්ය මණ්ඩලයට ඇතුළු කරගෙන ඇති උපන්ගෙයි අපතකම අත් හැරි ය නො හැකි එකෙකු දෙන්නෙකු ද සිටින බව පිළිගැනීමට සිදුවේ. එහෙත් හිනහ යන කාරණය නම් මේ අරගලයේ දී මේකියන පිරිස ඉන්නේ පාවාදෙන්නන්ගේ ගොඩෙහි වීම ය.

අධ්‍යාපන සුදුසුකම්

තවත් ජනප්‍රිය චෝදනාවක් බවට පත්වී තිබෙන්නේ ආචාර්යවරුන්ගේ අධ්‍යාපන සහ පර්යේෂණ සහ ප්‍රකාශන  සුදුසුකම් ප්‍රමාණාත්මක නැත යන්නයි. ලංකාවේ සියලු ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවාගනු ලැබ ඇත්තේත්, උසස්වීම් ලබා ඇත්තේත් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් සම්මත බඳවා ගැනීමේ හා උසස්වීම් ලබාදීමේ නිර්දේශයන්ට අනුකූල ව ය. සාමාන්‍යයෙන් ප්‍රථම උපාධියෙන් පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් හා අවුරුද්දකට නො අඩු තෘතීයික මට්ටමේ ඉගැන්විමේ හෝ පශ්චාත් උපාධි මට්ටමේ පර්යේෂණ පළපුරුද්ද මූලික සුදුසුකම වශයෙන් සලකා විශ්වවිද්‍යාලයකට බඳවාගනු ලබන ආධුනික කථිකාචාර්යවරයෙකුට උපරිම අවුරුදු හතක කාලසීමාවක දී පශ්චාත් උපාධියක් සම්පුර්ණ කිරීමට සිදුවේ. නැත්නම් ඔහුගේ හෝ ඇයගේ රැකියාව අහිමි වෙයි. එතැන් සිට ජ්‍යෙෂ්ට මහාචාර්යවරයෙකු දක්වා උසස්වීම් ලැබීමේ දී සම්පූර්ණ කළ යුතු සේවා කාලමය, පරිපාලනමය, පර්යේෂණමය සුදුසුකම් රාශියක් තිබේ. මේ සුදුසුකම් සම්පූර්ණ කිරීම බොහෝ දෙනා සිතන තරම් පහසු කාර්යයක් නො වේ. සාපේක්ෂ ව ගත්විට මෙතරම් සංකීර්ණ හා දුෂ්කර උසස්වීම් පටිපාටියක් ලංකාවේ වෙනත් කිසිදු වෘත්තියකට නැත. ලංකාවේ සියලුම විශ්විද්‍යාල ආචාර්යවරුන්ට ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිඩ්ජ් වැනි  විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි නැති බව ඇත්ත ය. එසේ කළ හැකි නම් එය ඉතා අගනේ ය. එහෙත් අප දන්නා තරමින් ඉන්දියානු විශ්විද්‍යාල වත් එතරම් පොහොසත් තත්වයකට ළඟාවී නැත.  එහෙත් ඉන්දියානු රජය එරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කැපී පෙනෙන වැටුප් වර්ධකයක් ප්‍රදානය කරද්දී මෙබඳු තර්ක ගෙන ආවේ නැත. එරට රජය කල්පනා කළේ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය නගා සිටුවීම අතිශය තීරණාත්මක බවත් විශ්විද්‍යාල ආචාර්යවරයා යන වෘත්තියෙහි තත්වය ඉහළ නො දමා එය කළ නො හැකි බවත් පමණි.

අනෙක් අතට ලංකාවේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඒ හා සබැඳී ආයතනත් අනුබල හා අනුග්‍රහ සපයන්නේ පශ්චාත් උපාධි සඳහා ආචාර්යවරුන් හැකි තරම් ඉන්දියාවට පැටවීමට ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බහුතරයකට දියුණු රටවලින් ලබාගත් පශ්චාත් උපාධි නැතැයි කියන්නන් කළ යුත්තේ විහිළු සැපයීම නවතා මේ වැඩපිළිවෙළවල් වහා නවතා දමා දියුණු රටවල විශ්වවිද්‍යාලවලට පමණක් ආචාර්යවරුන් යවන ලෙස බල කරමින් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පිකට් කිරීම ය.  මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බහුතරයකට දියුණු රටවල පශ්චාත් උපාධි සුදුසුකම් නැත්තේ මූලික වශයෙන්ම ආර්ථිකමය කාරණා නිසා මිස ඔවුන්ට සුදුසුකම් හෝ ඒ සඳහා වන හැකියාව නැති නිසා නො වේ. මෙරටට එබඳු විශ්වවිද්‍යාල සඳහා ලැබෙන සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය සුදුස්සන් නැති ව අහිමි වූ බවක් කිසිදාක අප නම් අසා නැත. එසේම තරඟකාරී ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා සහ තමන්ගේ ම වියදමින් දුෂ්කර ක්‍රියා කරමින් එබඳු සුදුසුකම් සම්පූර්ණ කර ඇති ආචාර්යවරුන් සෑහෙන  ප්‍රමාණයක් ද මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින බව මොවුන් නොදන්නේ ද? නැත්නම් ඕනෑ කමින්ම එය මග හරිනවාද? අනෙක් අතට එබඳු සුදුසුකම් ලබා සිටිය දීත් එයට සරිලන වැටුපක් නො ගෙවනවා මදිවට මෙබඳු කුණු කතාත් අසන්නට ලැබෙන විට එබඳු සුදුසුකම් සම්පුර්ණ කිරීමට පෙළඹීමක් ඇති වන්නේ කෙසේද?

පර්යේෂණ හා ප්‍රකාශන

දැන් පර්යේෂණ හා ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නයට හැරෙමු. මේ පඬියෝ ( සමාවන්න මෙය මහා ම පඬියා වන නලින් ද සිල්වා මහතාගෙන් ණයට ගත් වචනයකි. සාමාන්‍යයෙන් කෙනෙකුට පඬියා කියන්නේ ඔහුට මෝඩයා යයි කියන්නට වුවමනා වූ විට ය. ඒ හාම බැඳුණු අර්ථය වන්නේ එය කියන තැනැත්තා අනෙකාට වඩා බුද්ධිමත් බව ය. සාමාන්‍යයෙන් මම බුද්ධිමතා උඹ මෝඩයා යනුවෙන් තමා ම නම් කර ගැනීමෙහි එතරම් වැදගත්කමක් නැත. අනෙක් අතට එවැනි බුද්ධිමතුන් හා එවැනි මෝඩයන් පිළිබඳ බෙදීම වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදවල පිළිගැනීමට ලක් වන්නේ නැත. මන්ද මම මෝඩයෙකු ලෙස සලකන කෙනා වෙනත් තැනක දී හෝ ක්ෂේත්‍රයකදී මට වඩා බුද්ධිමතෙකු විය හැකි බැවිනි. මේ සියල්ල දැන දැනත් අපට ද මේ වචන පාවිච්චි කරන්නට සිදු වන්නේ  අපට දිගින් දිගටම මෝඩයන් (පඬියන් ) යයි කියන බැවිනි) ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පර්යේෂණ කරන්නේ නැතැයි ද, පිළිගත් ශාස්ත්‍රීය ප්‍රකාශනවල ලිපි පල කර නැතැයිද මහා ඝෝෂාවක් කරති. සමහරු මේ දිනවල අන්තර්ජාල සෙවුම් සෙවුම් යන්ත්‍ර පීරමින් ආචාර්යවරුන්ගේ ප්‍රකාශන සොයති. ගණන් මිණුම් පවා දක්වති. ( නෝනාවරුනි සහ මහත්වරුනි, කරුණාකර ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිවරයා, උප සභාපතිවරයා  සහ උපකුලපතිවරුන්ගේ නම් ද නිකමට මෙන් සෙවුම් යන්ත්‍රයකට ඇතුළු කොට බලන්න. අමතක නො කොට රොහාන් රාජපක්ෂ, අජිත් දිසානයක වැනි ඔබ දන්නා කියන මිත්‍රයන්ගේ නම් කිහිපයකුත් ඇතුළු කොට බලන්න. සමහර විට ඔබ විශ්මයට පත්වන ආකාරයේ පර්යේෂණ පත්‍රිකා තොගයක් ඔබට හමුවීමට ඉඩ තිබේ.) ඔව්, අපි එකඟ වෙමු. මෙහි ප්‍රශ්නයක් තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔබලා උලුප්පා දක්වන තරම් පර්යේෂණ හීනයන් නොවූවත් සාපේක්ෂ ව ප්‍රමාණාත්මක පසුබෑමක් තිබෙන බව සැබෑ ය. එහෙත් මේ ගැටලුවේ සංදර්භය කුමක්ද? ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සංස්කෘතියක් ගොඩනැගී නැතිකම යි. මෙය ආචාර්යවරුන්ගේ කම්මැලිකමට හෝ උදාසීනකමට ලඝු කිරීම  කඩේ යාමට හොඳ අකාරයක් වුවත් ප්‍රශ්නය ඇත්තට ම විසඳීමට අවශ්‍ය වන්නේ නම් එතරම් හොඳ ප්‍රවේශයක් නො වේ. ඉවසිලිවන්ත ව අපි ප්‍රශ්නය තෝරා ගන්නට බලමු.

පළමුවෙන්ම, ලංකාවේ විශ්වවිද්‍යාල වනාහි ප්‍රථම උපාධි පිරිනැමීම ප්‍රධාන අරමුණ කරගත් ආයතන පද්ධතියකි. ඒවා කාලාන්තරයක් තිස්සේ හැඩ ගැසී ඇත්තේ රටෙහි අධ්‍යාපන සැකසුම විසින් ඒවාට හිමිකර දෙනු ලැබ ඇති මේ අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙනි. බොහෝ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි වැඩසටහන් පැවතුනත් ඒවා සීමිත මෙන්ම අප්‍රධාන ය. පශ්චාත් උපාධි ආයතන කිහිපයක් පසු කාලීන ව බිහි වූ නමුත් ඒවා සීමිත ආචාර්ය මණ්ඩලයක් සහිත අයතන වෙයි. ප්‍රථම උපාධියක දී  මුල් තැන ලැබෙන්නේ යම් ශික්ෂණයකට අදාළ දැණුම සහ කුසලතා වර්ධනය කිරීමට ය. මේ කාර්යයේ දී ආචාර්යවරයා සහ ශිෂ්‍යයා අතර ඇතිවන්නේ මූලික වශයෙන්ම ඉගෙනුම්-ඉගෙනීම් සම්බන්ධයකි. ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයා දේශනාශාලවට කොටු කිරීමේ උගුලක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතී.        ලංකාවේ විශ්විද්‍යාලවල පවතින අචාර්ය මණ්ඩලයේ හිඟකම ද මෙයට එක්වූ විට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ඉගැන්වීම්   කටයුතු සඳහා වැය කිරීමට සිදුවන කාලය වැඩි ය. (ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ විශ්විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ එන්නේ නැතැයි ගෙනෙන චෝදනාව සම්බන්ධයෙන් ද මෙහිදී ම යමක් කිව යුතු ය. සාමාන්‍යයෙන් මෙවැනි ශ්‍රේණිගත කිරීම්වල දී සලකන ප්‍රධාන කරුණු දෙකක් වන්නේ පශ්චාත් උපාධි වැඩසටහන් සහ ගුරු-ශිෂ්‍ය අනුපාතය යි. මේවා බැරෑරුම් ව සලකන්නේ නැති ව රෙදි උස්සනවා මෙන් ‘රෑන්ක්’ එක උස්සන්නේ කෙසේ දැයි මේ මහත්වරුන් සහ නෝනාවරුන් අපට පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.) සිය පශ්චාත් උපාධි සිසු සිසුවියන් සමග නිරන්තරයෙන් ගැටෙමින් පර්යේෂණ වටපිටාවක සිටින අචාර්යවරයෙකුගේ පර්යේෂණ නැඹුරුතාව සහ එක ම සමාසිකයක දී පාඨමාලා ඒකක කිහිපයක් උගන්වමින් සිය ප්‍රථම උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග නිරතරයෙන් ගැටීමට සිදුවන අචාර්යවරයෙකුගේ පර්යේෂණ නැඹුරුතාව එක සමාන වීමට කොහොමටත් ඉඩක් නැත. ( ඇත්ත වශයෙන් ම සමහර අධ්‍යයනාංශවල ආචාර්යවරුන්ට සිදුව ඇත්තේ පාඨමාලා කෙසේ හෝ ඇදගෙන යන්නට ය.)

අනෙක් අතට ලංකාවේ පශ්චාත් උපාධි සංස්කෘතියක් බිහිවී නැත. සාමාන්‍යයෙන් කෙනෙක් සිය ප්‍රථම උපාධියෙන් පසු කිසියම් නිශ්චිත ආර්ථික හෝ වෘත්තිමය අවශ්‍යතාවක් නැත්නම් පශ්චාත් උපාධියක් සඳහා යොමුවන්නේ නැත. කොහොමටත් දැණුම යනු කඹුරන්නට සරිලන දැණුමක් පමණක් වීම ප්‍රමාණවත් ය යන ආකල්පය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල ආකල්පය බවට පත් ව ඇති තත්වයක් තුළ එවැනි සංස්කෘතියකට පදනමවත් වැටීමට ඉඩක් ඇත්තේ ද නැත. ඉන්දියාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වසරකට එරට සිසුන් දහස් ගණනකට දර්ශනශුරි උපාධි අධ්‍යයනය සඳහා කනිෂ්ට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනම යි. ඒ වසර පහක කාලසීමාවක් සඳහා ය. පළමු වසර දෙකෙන් පසු ඒවා ජ්‍යෙෂ්ට පර්යේෂණ ශිෂ්‍යත්ව බවට උසස් කරනු ලැබේ. පළමු වසර දෙක සඳහා මාසික දීමනාව ඉන්දියානු රුපියල් 16000.00  කි. ඉන් පසු ව එය ඉන්දියානු රුපියල් 18000.00  දක්වා ඉහළ දමනු ලැබේ. මිට අමතර ව ඒ ඒ විශ්වවිද්‍යාල මගින් දර්ශනශුරි උපාධි අපේක්ෂකයන් සඳහා පිරිනමනු ලබන ආයතනික ශිෂ්‍යත්ව ප්‍රමාණය ද දහස් ගණනකි. ඒ යටතේ ගෙවනු ලබන මාසික දීමනාව ඉන්දියානු රුපියල් 8000.00 කි. ලංකාවේ ජනප්‍රිය කියමනක් වන්නේ ඉන්දියාවේ ‘පී. එච්. ඩි කාරයන්’ වැහි වැහැලා යන්නයි. ‘පී. එච්. ඩි කාරයන්’ ගංවතුරක් හදාගන්නට ඉන්දියාවට ඕනෑවී ඇති සෙයකි. අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමාට නම් ඇත්තේ මසකට තිස් දහස ගනනේ ගෙවා පිටරට සිසුන් ගෙන්වා ගැනීමේ හදිස්සිය යි. ( මේ සඳහා අයදුම්පත් කැඳවීම සාර්ථක තුන්වෙනි වතාවටත් දිගු කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් බලාගැනීමට පුළුවන. අයදුම්පත් ඇති තරම් ලැබී නැති බවක් පෙනී යයි.)

පශ්චාත් උපාධි වැඩසටහන්, පර්යේෂණ, නව නිමවුම් ආදිය එකිනෙකට බැඳී ඇති දේ ය. අචාර්යවරුන්ට තනි අතින් අප්පුඩි ගසන්නට නොහැකි ය. විශ්වවිද්‍යාල පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත්වීමේ එක් මූලික කොන්දේසියක් නම් ඒවායේ පශ්චාත් උපාධි වැඩසටහන් ද ප්‍රථම උපාධි වැඩසටහන්වලට සාපේක්ෂ ව දියුණු කිරීම යි. පශ්චාත් උපාධි වැඩ සටහන් දියුණු වන්නේ ඒ සඳහා ඉල්ලුමක් පවතී නම් පමණි. බහුතරයක් සිසුන් උසස් අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවට එයින් පිටමං කිරීම සිය වැඩපිළිවෙල කරගත් අරුම පුදුම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක් ඇති රටකින් ඉන්දියාවේ වැනි පශ්චාත් උපාධි හැදෑරීම දිරිගැන්වීමේ වැඩ සටහන් ඉදිරිපත් වනු ඇතැයිඅපට බලාපොරොත්තු විය හැකි ද? ( මගේ අම්මෝ 6%! එච්චර ගණනකින් මොනවා කරන්න දැයි  විශ්වවිද්‍යාල ආචාර්යවරු අහස පොළොව නුහුලන ඉල්ලීමක් කරනවා මෙන් ඉස අත් තබාගෙන බැන අඬගසන අය මේවා පිළිබඳ වත් සැලකිලිමත් වන්නේ නම් අගනේ ය.)     

දෙවනු ව, වර්තමාන දැනුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදුවන්නේ සංවිධානාත්මක වැඩසටහන්වල ප්‍රතිඵල වශයෙනි. ඒ සඳහා වන මූල්‍යමය සහ වෙනත් පහසුකම් සපයනු ලැබේ. වෙනත් රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා ලැයිස්තු තරම් මෙරට ආචාර්යවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා ලැයිස්තු දිග නැතැයි කෝචොක් දමන අය ඒ ලැයිස්තු දිග වුනේ  යහමින් ප්‍රතිපාදන සපයන ලද දැවැන්ත පර්යේෂණ වැඩසටහන්වල ප්‍රතිඵල වශයෙන් බව වසන් කරති.  මහත්වරුනි, නෝනාවරුනි, අඩු වැටුප් තල නිසා විශ්වවිද්‍යාල අචාර්යවරුන් ලෙස බැඳීමට තරුණ උපාධිධාරීන් මැලි වන තත්වයක් තුළ පර්යේෂණ සහකාරවරුන් ලෙස ඔවුන් බඳවා ගැනීම ගැන කුමට කියමු ද? ඡායාපිටපත් යන්ත්‍රයෙහි මුද්‍රණ තීන්ත බහාලුව නිම වූ විට තවත් නව එකක් වෙනුවෙන් මාස ගණනාවක් බලා සිටින්නට සිදුව ඇති විට නැනෝ තාක්ෂණය ගැන පර්යේෂණ කරන්නට අවශ්‍ය උපකරණ ගැන කුමන කතා ද? ඔබලා හඳට යන අය පෙන්වා ‘අර බලන්න අර ගොල්ලෝ හඳට යනවා ඔයාල හඳට යන්නේ නෑනේ’ අපිට විහිළු කරති. කබල් බයිසිකල් කටුවකින් හඳට යන්න!  අනෙක් කාරණය නම් මේ සියල්ල කරන්න කියන්නේ නොතරම් වැටුපකට වැඩ කරන අතරේ ය. අශ්වයා තුට්ටු දෙකට ගන්නත් ඕන, වැටට උඩින් පනින්නත් ඕන!  

හොඳයි, මේ සියලු දුෂ්කරතා මැද පර්යේෂණයක් කලත් එය විමර්ශිත සඟරාවක පල කිරීම එතරම් පහසු කාර්යයක් නො වේ. වර්තමාන ලෝකයේ ප්‍රකාශන සමාගම් හා ආයතන සංවිධානය වී ඇති ආකාරය අනුව හුදෙක් පර්යේෂණ පත්‍රිකාවේ ගුණාත්මකභාවය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නැත. එයට බලපාන මුල්‍යමය සහ සමහර විටක දී දෘෂ්ටිවාදාත්මක කාරණා ද තිබේ. ලංකාව වැනි රටකින් හොඳ නිෂ්පාදන එන්නේ නැතැයි යන අදහස මෙරට විශ්විද්‍යාල ආචාර්යවරුන් නිසා ඇති වූවක් නො ව රටේ සමස්තය පිළිබඳ අදහසකි. කුහකකම නම් මේ දෘෂ්ටිවාදීමය බාධකය ගැන හොඳින් ම දන්නා නලින්ද සිල්වා මහතා ද, අනෙක් අය සමග එක පෙළට සිට මේ චෝදනාව නැගීම යි.

තෙවනු ව, මේ පර්යේෂණ හා ප්‍රකාශන චෝදනාවේ තවත් පැත්තක් ද පෙන්වා දිය යුතුය. විශේෂයෙන් ම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙය අදාළ ය. ඇත්තට ම අප රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශිත සඟරාවල ලිපි පලකිරීමේ ඉලක්කය හඹා යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද නැත්නම් රටෙහි සමාජීය,දේශපාලනික, හා සංස්කෘතික ගැටළු කෙරේත්, මහජනයා කෙරේත් සක්‍රීය ව බැඳී ‘රට පෙරට’ ගෙන යන්නට උරදෙන බුද්ධිමතුන්ගේ පරපුරක්ද? ඇත්ත මේ දෙක එකිනෙකින් වෙන් කළ නො හැකිය. එහෙත් පෞද්ගලික ආයතනවල විධායක නිලධාරීන් මෙන් වෘත්තිමය ඉලක්ක හඹා යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරපුරක් බිහි වුවහොත් එය රටෙහි අනාගතයට එතරම් සුබදායක වනු ඇතැයි සිතිය නො හැකි ය. ශාස්ත්‍ර ලෝභය එකකි; වෘත්ති උන්නතිකාමය තවත් එකකි. ආචාර්යවරුන්ගේ ලිපි සොයා අන්තර්ජාලය පීරන මහත්වරුන්ට සහ නෝනලාට කුඩා අභ්‍යාසයක් දීමට කැමැත්තෙමි. කරුණාකර එදිරිවීර සරච්චන්ද්‍ර යන නම ඇතුළු කොට ජාත්‍යන්තර ප්‍රකාශන ගණන බලන්න. ඒ එන ප්‍රතිඵලය අනුව සරච්චන්ද්‍රයන්ගේ වැදගත්කම් තීරණය වනවා දැයි අපට කියන්න.

අවසාන වශයෙන් කිව යුතු කරුණු තුනක් තිබේ. පළමු වෙන් ම යම් කිසි වෘත්තියක ගරුත්වය රැකෙන ආකාරයේත්, එම වෘත්තීය ආරක්ෂා කළ හැකි ආකාරයේත් වැටුපක් පිළිබඳ ඉල්ලිමක දී දැනට ඒ වෘත්තියේ යෙදී සිටින ඒ හෝ මේ පුද්ගලයාට ඇඟිල්ල දිගු කරමින්, ඒ හෝ මේ පුද්ගලයාගේ සුදුසුකම් ප්‍රශ්න කරමින් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම හරියට ම කීවොත් ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වර්ගයේ ප්‍රතිචාරයකි. වැටුප පිළිබඳ ප්‍රශ්නය වෘත්තියේ ප්‍රශ්නයක් මිස අරයාගේ මෙයාගේ වැටුපේ ප්‍රශ්නයක් නො වේ. වැටුප් ඉල්ලන්නේ ද අරයාට හෝ මෙයාට නො වේ. ගැඹුරින් සලකා බැලුවොත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කොට වැටුප් පිළිබඳ ඉල්ලීම ඇත්තටම බලපාන්නේ අනාගතයේ මේ වෘත්තියට සම්බන්ධවීමට සිටින පිරිසකට හා මේ වෘත්තියෙන් යම්දෝ නො යම්දෝයි දෙගිඩියාවකින් සිටින පිරිසකට ය. මේසන් බාස්ගේ වැටුප මේසන් බාස්ලාගේ සාමාන්‍ය වැටුප මිස පියදාස බාස් උන්නැහේගේවත් ගුණදාස බාස් උන්නැහේගේවත් වැටුප නො වේ. පියදාස බාස් උන්නැහේ හරියට ලඹේ අල්ලන්නේ නැතැයි කීම මේසන් බාස්ලාගේ සාමාන්‍ය වැටුප පිළිබඳ ප්‍රශ්නයකට උත්තරයක් නො වේ. කරන්න තියෙන්නේ පියදාස බාස් උන්නැහේ වෙනුවට වෙන බාස් උන්නැහේ කෙනෙක් වැඩට ගැනීම ය. එය වෙන ම කාරණයකි.

දෙවැන්න, මේ සංසන්දන ඉදිරිපත් කරන බොහෝ දෙනා මේ සියල්ල සංසන්දනය කරන්නේ බටහිර යුරෝපීය හෝ ඇමරිකානු තත්වයන් සමග ය. ජනාධිපතිතුමාගේ ද අරමුණ ‘ආසියාවේ ආශ්චර්යය’ බවට අප පළමු ව පත්විය යුතු බව ය. එනිසා දුර යාමට පෙර ළඟ තිබෙන දේ දෙස මදක් ඇස හැර බැලීම ප්‍රයෝජනවත් ය. අනික ලංකාවේ විශ්විද්‍යාල ආචාර්යවරුන් බටහිර යුරෝපීය හෝ ඇමරිකානු  ආචාර්යවරුන්ට සමාන වැටුපක් ඉල්ලුවේ නැත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩලයට දක්ෂ ම පුද්ගලයන් බඳවා ගැනීමට හැකි වන ආකාරයටත්, බඳවා ගත් පුද්ගලයන් එම වෘත්තියෙහි දිගට ම රඳවා ගත හැකි ආකාරයටත්, එම වෘත්තියේ ගරුත්වය ආරක්ෂාවන ආකාරයෙන්,  අඩුම තරමින් දකුණු ආසියානු කලාපයේ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තලවලට සාපේක්ෂ ව  සකසනු ලැබ ඇති වැටුප් වර්ධක එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස යි. මේ සරල ඉල්ලීමට ඇමරිකානු මහාචාර්යවරුන්ගේ ප්‍රකාශන ලැයිස්තු සමග මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශන ලැයිස්තු සංසන්දනය කරමින් හතර වරම් ගැසීමට අවශ්‍යතාවක් නැත. අසල්වැසි ඉන්දියාව දෙස බලන්න. ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලට අමතර ව, ප්‍රධාන විශ්වවිද්‍යාල යටතේ පවතින ප්‍රථම උපාධි සඳහා ඉගැන්වීම් කරන කොලීජි දහස් ගණනක් තිබේ. විශ්වවිද්‍යාල පැත්තකින් තබමු. මේ කොලීජිවල ආචාර්යවරුන්ගේ ද තනතුරු පටිපාටිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තනතුරු පටිපාටියම ය. එපමණක් නො ව එක් දීමනාවක් ( මේ දීමනාව නිසා ඇති වන පරතරය ඉන්දියානු රුපියල් 3000.00 සිට 5000.00 දක්වා වන සුලු වෙනසකි)   හා තවත් මුල්‍යමය නො වන  වරප්‍රසාද කිහිපයක්   හැරෙන්නට මූලික වැටුප් තල  හා දීමනා ද සමාන ය.  ඒ දීමනා රහිත ව වුවත් මේ කොලීජියක ආරම්භක වැටුප් තලයේ සිටින ආචාර්යවරයෙක් ලබන වැටුප අපගේ විශ්වවිද්‍යාලයක ආරම්භක වැටුප් තලයේ සිටින ආචාර්යවරයෙක් ලබන වැටුපට වඩා බෙහෙවින් ඉහළ ය. හොඳයි මහත්වරුනි ඔබලා කියන සුදුසුකම් අපේ ආචාර්යවරුන්ට  නැතැයි අපි මොහොතකට පිළිගනිමු. එහෙත් දැන් මේ ඉන්දියානු කොලීජි ගුරුවරුන්ට ඇති සුදුසුකම්වත් අපේ ආචාර්යවරුන්ට නැති නිසා ද ඊටත් වඩා අඩු වැටුපක් ඔවුන්ට ගෙවන්නේ?

අවසාන කරුණ මෙය යි. මේ අරගලයේ අද ඉදිරියෙන් සිටින්නේ ලංකාවේ  විශ්වවිද්‍යාල පද්ධතියේ අඩු පාඩුකම්කම් පමණක් නො ව ඇතැම්  අචාර්යවරුන්ගේ ම සිමාසහිතකම් පිළිබඳ ව වඩාත් ම හොඳින් දැනුවත්, ඒ පිළිබඳ ව විවේචනශීලි, ඒවාට එරෙහි ව නිරන්තරයෙන් පෙනී සිටින හා අරගල කරන පිරිසක් බව  ඔවුන් පිළිබඳ ව තතු දන්නෝ මැනවින් ම දනිති. (ඩිල්කා සමන්මලී නොදන්නා දෙය නම් ඇය ඉතා බරසාර ව නිර්මාල්ගෙන් අසන ප්‍රශ්න නිර්මාල්ගේ ම ප්‍රශ්න බවයි.) නින්දෙන් ඇහැරුනාක් මෙන් ‘රෑන්ක්’ ගැන නන් දොඩවන බොහෝ දෙනාට පෙර විශ්විද්‍යාල තුළ තරුණ කථිකාචාර්යවරුන් අතර මේ සාකච්ඡාවන් ඇති වූයේ මීට කලකට පෙර ය. මේ අරගලයේ සාධනීය ම ලක්ෂණය වන්නේ ජීවයෙන්, අධිෂ්ඨානයෙන් හා තමන්ගේ සමාජීය වගකීම පිළිබඳ  අවබෝධයෙන් තමන්ට කලින් පරපුරෙහි විශිෂ්ටතමයන් සමග   පෙරමුණ අරා සිටින්නේ මේ පරම්පරාව වීම යි. මහින්ද අබේසුන්දරගේ ග්‍රාමය මඩ ප්‍රහාරවල සිට සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ ව්‍යාජ-දාර්ශනික විශ්ලේෂනිය මඩ ප්‍රහාරවලටත්, වැටුප් කපා දැමීමේ සිට කෙරෙන අනවරත දුෂ්කරතාවන්ට ලක් කරනු ලැබීමටත්, උපකුලපතිවරුන්ගේ මෘදු තර්ජනවල සිට සුදු වෑන් තර්ජන දක්වා ත්‍රස්තකිරිම්වලටත්, සාර්ථක ව මුහුණ දෙමින් නොබිඳුණු අදිටනින් පෙරට ඇදෙන ඔවුන් දැනමත් ජයග්‍රහණ ලබා අවසන් ය.  විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු සමාජසංවේදී පිරිසක් ය යන මහජන මතය ඇති කිරීමටත්, තමන් පිළිබඳ ව ජනතාව තුළ විශ්වාසක් තහවුරු කිරීමටත් හැකිවීම ඔවුන් ලද විශාල ම ජයකි. එදා 6% දීමනාව විහිලුවට ලක් කළ අය අද අධ්‍යාපනයට ප්‍රමුඛතාව දිය යුතු යයි රජය පිළිගන්නා බවට ප්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ ප්‍රකාශ විශ්වාස කළොත් ඔවුන්ට සිදුවන්නේ රජය ඒවා කඩ කළ දිනක දී තමන් මහජනයා අතර ගොඩනගාගත් විශ්වාසය ද  අහිමි කර ගැනීමට ය. මේ අරගලය දැන් විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයක් පමණක් නො වේ. තමන්ට පෞද්ගලික ව සිදුවන පාඩුව නො තකා, රජයේ මාධ්‍ය මගින් කරන විසකුරු උසිගැන්විම්වලට හසු නො වී මෙතරම් කාලයක් ඉවසා සිටින සිසු සිසුවියන්ගේ ද අරගලයකි; එපමණකින් නොනැවතී මේ ඉල්ලීම් දිය යුතු යයි මහපාරට බට සිසු සිසුවියන්ගේ අරගලයකි; තම දරුවාගේ අධ්‍යාපනය දිනෙන් දින අත පසුවෙනු  දැක දැකත් මෙය අනාගතය වෙනුවෙන් වන අරගලයක්ය යන වැටහීමෙන් ප්‍රාදේශීය දේශපාලකයන් ඇටවීමට මාන බැලූ කඩේ යන දෙමාපිය සංගම්වලට කිසිදු දිනෙක සහය නො දී මේ අරගලයට ආශීර්වාද කරන දෙමාපියන්ගේ අරගලයකි; අපටත් අත්සන් කරන්න ඕනෑ යයි පෙළ ගැසී පැමිණ අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබූ ලොකු කුඩා මිනිසුන්ගේ අරගලයකි; මේ සටනට ආශීර්වාදය ලබා දෙන ආගමික නායකයන්ගේ අරගලයකි; සහෝදරත්වයේ දෑත් දිගු කළ වෙනත් වෘත්තීය සමිති හා සංවිධානවල අරගලයකි; කොටින් ම මෙය සාධාරණ හා රටේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන අරගලයක්ය යන විශ්වාසයේ සිටිමින් එයට සහය දෙන ආශීර්වාද කරන මේ රටේ බහුතර ජනතාවගේ අරගලයකි. එනිසා ................

ආපසු නො හැරේන්............... සීරුවෙන්........සිටින්..........