Friday 19 October 2012


නුඹ තවම අප දෙස බලා සිටිනවා නොවෙද?
සුබ ගමන් පැතූ ඔය මදහස
තවම වියැකී නෑ නේද?

නොනැවතුණු ගමනකි
නිම නොවූ සටනකි
අතරමග නැවතුමකි
දුෂ්කරම මොහොතකි

නේක වෙස් රැගෙන එන අපහාස නිගාබස්
උසුළු විසුළු ද අවමන්
දරා ගන්නට සවිය දෙන්නේ
නුඹේ දිදුලන දෑසයි දියණියේ
හෙටක් ගැන බලාපොරොත්තු දල්වා
අප දෙස බැලූ නුඹේ දිදුලන දෑසම
මේ ගමන හැර නොයන
එකම එක සවියයි දියණියේ

මහ දවල් හිරු ගිනියම් ව වැගිරුන  ගාලු පාරේ
නුඹ සමග එළඹි ගිවිසුම රකිමි දියණියේ.....
පැය ගණන් දින ගණන් සති ගණන්
සෙක්කු සාකච්ඡා නැතිව
එකම නිමේෂයකදී

කරදහියක් මත නොව
හදවතින් එළඹී ගිවිසුම රකිමි
අන් සියලු ගිවිසුම්වලට ඉහළින්

T ෂර්ට් එකේ නොව
තියුණු සැතකින් ගැඹුරින් ලියාගත් හදවතේ
ලොකු හයේ ඉලක්කම

ඇස් පියල්ලක් යට බරට දැනෙන කඳුලක්ව
උල් සැතක් මෙන් හිතේ ඇවිලී ඇවිලී වද දෙන
ගිවිසුම දරා ඉමි දියණියේ

නොනැවතුණ ගමනකි
නිම නොවූ සටනකි
හෙට දිනන පැතුමකි
ඒ සොඳුරු මොහතකි

හෙටත් අප දෙස බලා සිටිවා නොවෙද දියණී
සුබගමන් පතන ඔය මදහස
හෙටත් නගනවා නොවෙද දියණී

(සේයාරූ - සිතුමිණි රත්නමළල)

7 comments:

  1. කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වීම



    ‘මහත්තයෝ අපිත් ඔය සටනට සපෝට් එක දෙනවා හැබැයි පඩිය විතරක් වැඩි කරගෙන සටන නවත්තන්න එපා‘ යැයි ත්‍රීවීල් රියදුරෙකු සරසවි ඇදුරෙකුට කියූ කතාවක් පහුගියදා රාවයේ තිබිණ. අහම්බෙන් මෙන් එම රියදුරා හමුවී,

    ‘අයියා මොකෝ දැං ලෙක්චර්ස්ලගෙ සටන ගැන කියන්නෙ?‘ යැයි අපි ඇසුවෙමු.

    ‘මහත්තයලා.... මේකනේ..... කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි අපේ අත්තා කිව්වෙ. උන්ට පුළුවන් හාවො මීමින්නො වගේ ඇටිකිත්තං සත්තු මරාගන්න විතරයි‘

    මේ වගත් එසේම:

    ආණ්ඩුවේ පස්ස නොනවත්වා ලෙවන ධම්ම දිසා මිත්‍රයා වීම හේතුවෙන් සිය සොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂවත් විශ්වාස නොකරන බැසිල් රාජපක්ෂව විශ්වාස කර ෆූටා සභාපති නිර්මාල් විසින් අධ්‍යාපනය වෙනුවෙන් 6% දිනා ගැනීමේ සටන අමු අමුවේ පාවා දෙන ලදි.

    තමන් තනතුරේ සිටින අතරතුර මොකක් හෝ කළයුතු බැවින් වැටුප් වැඩිකර ගැනීමේ අරමුණ පෙරට ගෙන සටන පටන් ගත් නමුත් සරසවි ඇදුරු වැටුප ජනතාව දැනගැනීමෙන් පසුව ආ විරෝධය හමුවේ පෙසපෙ පුබුදුව හෙවත් ගැටළුවා ගේ අනුදැනුම ඇතිව සටන 6% ඉල්ලීම දක්වා වෙනස් වූ බව කවුරුත් දන්නා කාරණයකි. දැනුම තිබුණට සෙනඟ නැති නිර්මාල් සෙනඟ සොයා ගැනීම උදෙසා පෙසපෙ තිරය පිටුපස උපදේශකයෙකු බැවින් පෙසපෙ දේශපාලනය සහතික කරණුවස් මේ සටන භාවිතා කළ මුත් එය අසාර්ථක උත්සාහයක් වූයේ ජවිපෙ සද්දන්ත දඹර අමිල හාමුදුරුවෝ වැඩේ අත් නොහැරිය බැවිනි. වැඩේ පාවා දීමකින් කෙළවර වී නන්නත්තාර වෙන්න කිට්ටුවෙන විට පෙසපෙ (හා එහි අන්තරේ) එතනින් හලා ජවිපෙ නායකයින් හා එජාප නායකයින් සටනට ගොඩ බැස්සවීමට තරම් හාමුදුරුවන්ට හැකි වී තිබුණි.

    අන්තිමේ දී රටේ අධ්‍යාපනය සඳහා මෙන්ම අනෙකුත් සටන් සඳහා ද තීරණාත්මක වූ මෙම 6% අරගලය ඛේදවාචකයක් කර පාවා දී නිර්මාල් නව ලිබරල්වාදය තුළම ඉතිහාසගත විය. නිර්මාල්ට සහය දී අප ද අප වැනිම තවත් බොහෝ අයද ඉතිහාසම ගත විය.

    මේ පොරොන්දු ඉටු නොවුනොත් තමන්ගේ තනතුර අනතරේ බව නිර්මාල් පැවසුවත් පොරොන්දු ඉටු කිරීමට පෙම් හසුනට අනුව තව අවුරුදු පහක්ම ගතවන බැවින් ඔහුගේ තනතුර තවත් අවුරුදු පහක් සඳහා සුරක්ෂිත බැව් අපට ඉඳුරාම පැවසිය හැක.

    නැත්තටම නැතිවුණේ:
    නිර්මාල්

    නැති වුණේ:
    ජානක හා සිසිත් ගේ ජීවිත
    දින සියයක සරසවි සිසුන්ගේ අධ්‍යාපනය
    ආයෙමත් විවි ආචාර්ය වරුන් වර්ජනයකට කැඳවීමේ හැකියාව
    තිබුණු 1.8% (2013අයවැය යෝජනා වලින් 1.5% ට අඩුකර ඇත)
    රාජ්‍ය අධ්‍යාපනය ගැන පුංචිම බලාපොරොත්තුවත්

    ඉතිරි වුණේ:
    එස් බී
    අත්දැකීම්
    කකුල් කෙඩෙත්තුව
    කළුපාට කොලර් සහිත තැඹිලි පාට ටී ෂර්ට්
    තැඹිලි පාට කොලර් සහිත කළුපාට ටී ෂර්ට්
    මාස තුනේ පඩිය (පාරවල් වල රස්තියාදුවීම වෙනුවට)
    පීබී ගෙ තුනට නැවූ ලියුම් දෙක

    ලැබුණේ:
    බැසිල්ගෙන් අතට අත

    ReplyDelete
    Replies
    1. ඇමිණුම 1. ඉහත තෙවැනි පද පෙළේ 'නේක වෙස් රැගෙන එන අපහාස නිගාබස් යන්නට උදාහරණයක් ලෙස මෙය කියවන්න. පලකල කෙනාට ස්තුතියි. තව තිබේ නම් පළකරන්න.

      Delete
  2. මේවාට තමයි ජෝක් කියන්නේ....

    නලීන් කිව්ව වගේ හරියට ඉවරයක් කරන්න බැරි වර්ජන පටන්ගන්න එපා...

    විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කිව්වා අන්තිම දවස්වල කුමුදු, නිර්මාල්, ධම්ම හිටියේ කොහෙද කියලා.... ඒක දන්නේ නැත්තම් මාධ්‍යවල කතා කරපු ආර්ථික විද්‍යා අංශයක ජේෂ්ඨ කතිකාචාර්යවරයා හොයාගෙන කතාව අහගන්න....

    ආචාර්යවරු ජෝක් කිරීම සම්බන්ධයෙන් නිර්මාල්ලා සමාව ගත යුතුය....

    ReplyDelete
  3. ඇමිණුම 2. ඉහත තෙවැනි පද පේලිය සඳහාම තවත් උදාහරණයක්. කොමෙන්ටුව්ට ස්තුතියි.

    ReplyDelete
  4. විශ්වාසය මත වර්ජන නතර කරපු ඉතිහාසයේ එකම අවස්ථාව මේක නේද?

    නුඹ තවම අප දෙස බලා සිටිනවා නොවෙද?

    ReplyDelete
    Replies
    1. නොනැවතුණු ගමනකි
      නිම නොවූ සටනකි
      අතරමග නැවතුමකි
      දුෂ්කරම මොහොතකි

      Delete
  5. දුෂ්කර පචයකි
    චින්තනයේ මහිමයකි
    පඩියත් ලැබුණැකි
    අයියෝ.... සොරි මචාං....සොරි මචාං....සොරි මචාං....සොරි මචාං....

    ReplyDelete