Saturday 29 September 2012

අටවැන්නාගේ භූමිකාව හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන

ප්‍රියන්ත ෆොන්සේකා

පසුගිය වසරේ අවසන් මාසයේ කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංගශාලාවේ රංගගත කෙරුණු එක්තරා වේදිකා නාට්‍යයක් මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් විය. ඒ නම් රෙජිනල්ඩ් රෝස් නමැති ඇමරිකානු රචකයා විසින් ’12 Angry Men’ නමින් රචනා කරන ලදුව, වේදිකාවේ, ගුවන් විදුලියේ, ටෙලිවිෂනයේ හා සිනමාවේ, ඒ ඒ ස්වරූපයන්ට ගැලපෙන ලෙස නිපදවුණු කෘතියේ ‘දොළහක්‘ නමැති සිංහල පරිවර්තනයයි. අතුල පතිරණ විසින් මෙරට වේදිකාවට නිපදවා තිබුණු මෙම නිර්මාණය සිංහලයට නගා තිබුණේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
මංගල දර්ශනයෙන් පසුව, ප්‍රජාව අතර ප්‍රචලිතව ගිය ‘දොළහක්‘ හි බොහෝ පසු දර්ශන සඳහා සතුටුදායක සහභාගිත්වයක් දක්නට ලැබිණ. අද්‍යතන වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් අතර දක්ෂතා පෙන්වා ඇති සහ කැපී පෙනෙන ලෙස නැග එමින් සිටින රංගධරයින් 12 දෙනෙකු එක්ව පුරා පැය දෙකක් මුළුල්ලේ වේදිකාව මත දිග හරින නාටකයේ ප්‍රබලත්වයත්, ඒ ගොඩ නංවා ඇති අපූර්වත්වයත් හැරුණු කොට කෘතියේ පෙළ විසින් සාකච්ඡාවට ගැනෙන කාරණාවේ තිගස්සවන සුළු ආකර්ෂණ ගුණයත් මේ සඳහා වන ප්‍රේක්ෂක එක්වීම ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස හඳුනාගත හැකි ය.
පසුගිය ජූලි මාසය ආරම්භයත් සමග වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන හා සමාජ කතිකාවේ නැවුම් හැරවුම් ලක්ෂයක රුව පහළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළැඹි අතර බැලූ බැල්මට සිය වැටුප් සහ දීමනා සඳහාම වෙතැයි පෙර අරගල කෙරෙහි වන සුලභ දොස් නැගුම සපුරා වෙනස් මගකට හරවමින් සමස්ත රාජ්‍ය අධ්‍යාපනයේ සුරැකුම පෙරට ගෙන ආ මෙම අරගලය සඳහා ද බුද්ධිමත් මහජන කොටස්හි කැපී පෙනෙන ආකර්ෂණයක් හඳුනාගත හැකි විය. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක මුදලක් රාජ්‍ය අධ්‍යාපනය සඳහා වෙන් කොට නිදහස් අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කරන ලෙස රජයට බල කෙරුම අරගලයේ මූලික සටන් පාඨය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දියත් කරන ලද්දේ වුව එය තෘතියික අධ්‍යාපනයට සීමා නොවී ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම වන අර්බුදවලට විසඳුම් ඉල්ලන සටනක් බවට පත්ව තිබේ.
වේදිකාව මත දිගහැරී ‘දොළහක්‘ නාට්‍යය නිපදවාගත් ආකර්ෂණ ගුණය හා සමාන කම්පිත ආකර්ෂණයක් හා ප්‍රබලත්වයක් සමාජ වේදිකාව මත ‘රඟ දැක්වෙන‘ (හෝ රඟ දැක්වීමට බල කර සිටි) ආචාර්යවරුන්ගේ අරගලය විසින් ද හිමි කරගෙන ඇත. සමාන ලෙසම, ආරම්භක මොහොතෙහි නාටකයේ අට වැනි ජූරි සභිකයාගේ භූමිකාව ‘ෆූටාව ‘ විසින් රඟ දක්වා ඇත. මෙම ලියවිල්ලෙහි අරමුණ ‘දොළහක්‘ හා අරගලය සසඳමින් සරල තෘප්තිකර සටහනක් හරහා කරුණු පෙළ ගැස්වීම නොවේ. පුද්ගල හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රබලව ප්‍රශ්න කරමින් නාට්‍යයේ අට වැනි ජූරි සභිකයා (විශ්වජිත් ගුණසේකර ගෙනෙන භූමිකාව) සමස්ථ ජූරි සභාවකට එරෙහිව යමින් දියත් කරන ජයග්‍රාහී අරගලයට සමාන්තරව පොදු ජන හෘද සාක්ෂියම යළි යළිත් ප්‍රශ්න කරමින් අනවරත අරගලයකට පෙරට එන ෆූටාවේ භූමිකාව පිළිබඳ ඇගයීමක යෙදීම ය. එසේම භයානක හා ප්‍රශ්න නොකෙරෙන සමාජ වටපිටාවක පෙරට ආ සටන් සගයින් හා භෞතිකව එක්ව නැගෙන්නට ලියුම්කරුට නොහැකි අවස්ථාවේ වෙනත් ආකාරයකින් එයට දායක වීමට ය.
‘ෆූටාව‘ ලෙස මෙම ලිපියේ මවිසින් සඳහන් කරන්නට යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වූ කලී ලංකාවේ විශ්වවිද්‍යාලවල සංවිධානයව පවතිනා ආචාර්ය සංගම් සියල්ලෙහි මව් සංවිධානයයි. මෙයට දිගු ඉතිහාසයක් ඇත්තේ වී නමුත්, අවස්ථා කිහිපයක දී සිදුකර ඇති මැදිහත් වීම් හා නැගීම් කිහිපයක් හැරෙන්නට මෑතක් වන තුරුම එය හඳුනාගෙන තිබුණේ තරමක නිහඬ පිළිවෙතකින් වෘත්තීය ප්‍රශ්න කෙරෙහි යොමු වන සංවිධානයක් හැටියට ය. එහෙත් පසුගිය වසරේ තෙමසක් පුරා විහිදි දැවැන්ත වෘත්තීය අරගලයක් සංවිධානය කිරීම නිසාවෙන් ‘ෆූටාව‘ සටන් සංවිධානයක් ලෙස පෙරට එන අතර මෙම වසරේ එහි දිගුවකින් ඇරඹ වඩා ශක්තිමත් සටන් පාඨ ඔස්සේ පෙළ ගැසීම හා නොබිඳ පෙරට යෑම හේතුවෙන් දිවයිනේ ප්‍රධානතම වෘත්තීය සමිති සංවිධානයක් බවට පත් වන්නේ ය.
නවකයෙකු ලෙස ‘ෆූටාවේ‘ සටන් මග හා ගිය වර එක්වූ මොහොතේ සිට මා දුටුවේ අනෙකුත් වෘත්තීය සංවිධාන විමසද්දී වැඩිපුර දක්නට නොලැබෙන එක්තරා අපූර්ව ලක්ෂණයකි. ‘ෆූටාව‘ වූ කලී අනෙකුත් බොහෝ වෘත්තීය සංවිධාන මෙන් සෘජු දේශපාලන පක්ෂයක නියෝජිත සංවිධානයක් නොවීම ඒ ලක්ෂණයයි. ඒ හේතුව නිසාම එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සිහළ උරුමය මෙන්ම නව පක්ෂයක් ලෙස ආ පෙරටුගාමී පක්ෂය ආදී පක්ෂ සමග කිට්ටු සබඳකම් ඇති ක්‍රියාකාරීන් එක් පෙරමුණක හමුවීම මෙහි දී සිදු වෙයි. විවිධාකාර දේශපාලනික මතාන්තර දරන්නන්ගේ ගැටීම් හේතුවෙන් මෙවැනි සංවිධානයක් ඉක්මණින් දියව යා හැකිමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ සබුද්ධික බවට දෙස් දෙමින් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ පෙන්වමින් තවම ඒ පෙරට ගමන් කරනු පෙනේ. ක්‍රියාකාරී පෙර පෙළෙහි සිට පසුපස දක්වාම වන මෙම දෙදරා යා හැකි ස්වභාවය වටහා ගනිමින් මෙය මෙහෙය වන පෙරමුණ අසුන්වලට ඇගයීමක් ලැබිය යුත්තේ බිඳී යාම වළක්වා ගන්නා නිසාම නොව එසේ පවතිමින් ශක්තිමත් අරගලයක් ගොඩ නංවා ගන්නා නිසා ය.
දොළහක් නාට්‍යයේ අටවැන්නා තනිව නැගෙද්දී සෙස්සන්ට (විශේෂයෙන්ම දසවැන්නාට - ඩබ්ලිව්. ජයසිරිගේ භූමිකාවට) නුරුස්සන්නේ ද මෙම නිර්භය නැගීමයි. ‘උට ඉඩ දෙන්න එපා මේ එක එක විකාර අනිත් උන්ගෙ ඔළුවලට දාන්න‘ වැනි වදන් ඔහුට එරෙහිව නැගෙන්නේ එබැවිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරයින් ‘කාලකන්නින්‘ රැසක් බවට හඳුන්වා දෙමින් මෑතක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ද මෙම නුරුස්සන බව, නාටකයේ චරිතයට සාම්‍ය ලෙස ඔහු තුළින්ද පැන නැගෙන බවට සාක්ෂියකි. එසේම මා යට කී එකමුතු, ප්‍රජාතන්ත්‍රික සංවිධානයේ ප්‍රබලත්වයට බිය වූ බව ප්‍රකට වීමකි. ආචාර්ය අරගලය මෙහෙයවන්නේ ‘යූ. ඇන්. පී එකෙයි, ජේ.වී.පී එකෙයි, අර පෙරටුගාමි එකෙයි උන් ටිකක්‘ කීමෙන් ඔහු ද මෙම සංවිධානයේ වටපිටාව හඳුනාගෙන ඇති බව පෙනේ. (එහි එජනිස හා සම්බන්ද අයද සිටිනා බව කියන්නට ඔහු නොපෙළඹීම විග්‍රහ කිරීම අනවශ්‍ය යැයි සිතමි.)
ඔහු පවසන අයුරින් මෙය විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයකම එකමුතුවෙන් මෙහෙය වෙන්නක් නම් මෑතකාලීන වෘත්තීය අරගල අතුරින් මේ සඳහා විශේෂ ස්ථානයක් නිතැතින්ම හිමි වේ. මක් නිසා ද යත්, බොහෝ අරගල, එක් පක්ෂයක් හා සබැඳි වෘත්තීය කණ්ඩායම් විසින් මෙහෙය වනු ලැබීම මෑත ඉතිහාසයේ සුලභ සිදුවීමක්ව තිබූ හෙයිනි. එසේමුත් ඔහු එය පෙන්වා දෙන්නේ ‘විරුද්ධවාදීන් පිරිසක්‘ සිදු කරන ‘අනවසර -නීති විරෝධී‘ කටයුත්තක් ලෙස ය. එහි නොකියවෙන කොටස විමසා බැලුවහොත් හැඟෙන්නේ, ‘ආණ්ඩුවෙ තීන්දුවලට එරෙහි අරගලයක් උනත් කරන්න නම් ආණ්ඩුවෙම වෙන්න ඕන!‘ වැනි ‘හතර බීරි‘ අර්ථයකි. ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රීය ලෙස, නීත්‍යානුකූලව පිළිගැනීමක් ඇති දේශපාලන පක්ෂ සමග ෆූටා සාමාජිකයින් සබඳතා පැවැත්වීම ද, ඒ පක්ෂ මේ අරගලයට අඩු -වැඩි වශයෙන් සහාය පළ කිරීම ද සිදු නොවිය යුතු, අපරාධකාරී ක්‍රියා ය.
නාට්‍ය වේදිකාවේ අටවැන්නාට එරෙහිව දසවැන්නාගේ නැගී ගෙන එන තර්ක හා සමාන මෙම මතාන්තර, නාට්‍ය ප්‍රේක්ෂාගාරය සිනාවෙන් පුරවා ලූ ලෙසම මහජන ප්‍රේක්ෂකාගාරයේ බුද්ධිමය ප්‍රේක්ෂකයා වෙත සිනහව කැඳවා ඇත‍. දොළහක් නාට්‍යයේදී නම් අටවැන්නාට එරෙහිව නැගෙන ප්‍රධාන භූමිකා කිහිපයක්ම (තුන්වැන්නා - ධර්මප්‍රිය ඩයස් / සිවුවැන්නා - ලක්ෂ්මන් මෙන්ඩිස්) හමුවන මුත් ආත්මීය හැඟීම් හෝ බුද්ධිමය තර්කනය මත පදනම් වන එකී චරිත දසවැන්නා ගෙනඑන හාස්‍යමය සමානත්වය ගොඩ නොනංවන බව පිළිගත හැක. මෙහිදී අමාත්‍යවරයාද කලබල වන්නේ ‘මගේ ගැරේජ් ටික අරෙහෙ මක බෑවෙනවා‘ කියමින් දසවැන්නා කෑ මොර දුන්නාක් වැනි තත්වයකිනි.
දහසය හැවිරිදි දරුවකු විසින් සිය පියා මරා දමා ඇතැයි යන සැකය මත පදනම්ව ඇසෙන නඩු විභාගයකින් පසු ජූරි සභිකයින් 12 දෙනෙකු ජූරි කාමරයට පැමිණෙන මොහොතින් දොළහක් නාට්‍යය ආරම්භ වෙයි. ලැබී ඇති සාක්ෂි හා තොරතුරු අනුවත්, නඩුවේ නීතිඥයින්ගේ තර්ක විතර්ක අනුවත් දරුවා මිනීමරුවා ය යන තීන්දුව ඉතා පැහැදිලි බව සියල්ලන්ගේ ම අදහස වේ. පහළ මාලයේ පදිංචිකරුවාගේ හා මාර්ගයෙන් අනෙක් පස ජීවත් වන ගැහැණියගේ සාක්ෂි මෙන්ම චූදිතයාගේ කට උත්තර හා පිළිතුරු දීම්වලින් ද ඒ පැහැදිලි වන බව කියමින් වහා ඔහු විදුලි පුටුවට යැවිය යුතු යැයි තීන්දු කොට පිටව යාම බහුතරයකගේ අවශ්‍යතාවයකි. ‘බේස් බෝල තරගය‘ සඳහා ගත් ටිකට්පත් අපතේ ගොස් තරගය බලන්නටද නොහැකි වෙතැයි යන බියෙන් වන සත්වන ජූරි සභිකයා, ‘ගරාජ මකබෑවෙන නිසා‘ දුවන්නට බලා සිටින දසවැන්නා, ‘පිපී ඉපිලෙන විළඳ පොරි‘ ගැන ලියා වෙළඳ දැන්වීමක් සදන්නට දත කන දොළොස් වැන්නා වැනි පිරිසක් අත ඔසවා චන්දය දී මේ කාමරයෙන් පිටව යන්නට පෙරුම් පුරද්දී අටවැන්නා විමසන්නේ එකම එක පැනයකි. අයෙකු මිනීමරුවෙකු කොට විදුලි පුටුවට යවන්නට අත එසවීම යනු අති නිවැරදි කරුණු මත පදනම්ව ගත යුතු තීරණයක් නොවේද යන්න ඒ පැනයයි. තනිව නැගී එකොළොස් දෙනෙකුට එරෙහිව යමින් ඔහු ගෙනෙන තර්කයට උදව්වට ගනු වස් මුලින්ම ඔහු තුළද ඇත්තේ අපැහැදිලි සැක සංකා කිහිපයකි. එහෙත් ක්‍රමිකව හා ප්‍රබලව ගොඩ නැඟෙන විරෝධතා ඉදිරියේ කරුණු ගොණු කරද්දී සැක සංකා පසුබිමෙහි වන බිඳිය නොහැකි කරුණු එකින් එක දිගහැරෙන්නට ගනියි. තර්කයෙහි ප්‍රබල බවත් සූක්ෂම හා විචක්ෂණශීලී විමසා බැලීමත් නිසා අටවැන්නාගේ අදහසෙහි සිතා බලන්නට යමක් වන බව පෙනී යන්නට පටන් ගනියි. එහෙත්, එරෙහි එකොළොස් දෙනා පෙළ සැදී ඔහුගේ මතය පිළිගන්නේ නැත. ස්වාත්මීය කාරණාවන්හි සිට පන්තිමය විරෝධතා දක්වාත්, තර්කයේ සිට පිළිගත හැකි මූලයන් දක්වාත් විහිදයන විවිධාකාර මතිමතාන්තරවල එල්බ සිටින සෙසු පිරිස සිය හිස මත නැගෙන ප්‍රශ්න එකිනෙක ගෙන අටවැන්නාට යොමු කරයි. අයෙක් ඒ තාර්කික පදනමකින් ගෙනෙද්දී ඇතමෙක් වෛරයෙන් සිය මතය ගෙන දමා ගසති.
එකිනෙක පිළිවෙලට ලිහා තබමින්, බුද්ධිගෝචර ලෙස ප්‍රතිපක්ෂයට මුහුණ දෙමින් යන අටවැන්නාගේ ගමනට කෙමෙන් නමවැන්නා, එකොළොස් වැන්නා, පස්වැන්නා එක් වන අතර ඒකමතික තීරණයක් ඉල්ලා සිටින විනිසුරු අසුන වෙත ඉක්මණින් යා නොහැකි පසුබිමක් නිර්මාණය වන්නට පටන් ගනිමින් නාටකීය ස්වභාවය උච්චස්ථානය කරා නැගෙයි.
නාට්‍යය හා පෙනෙන සරල සබඳතා කිහිපයක් නිසාවෙන් මෙම සාකච්ඡාවට ‘දොළහක්‘ කැඳවාගෙන ආ මුත් ෆූටා හි අරගලය එම සීමාවල පමණක් නොරඳන බව පැහැදිලි කිරීම අනවශ්‍ය ය. එක් අතකට මෙම මහජන වේදිකාවේ නාට්‍යය, ‘දොළහක්‘ හි සිදුවීමට වඩා කිහිප ආකාරයකින් බරපතල ය. එසේම නාට්‍යයේ චරිත මෙන් දෙන ලද පිටපතෙහි දෙබස්වලින් හා රංග විධානවලින් සීමා කෙරෙන රාමුවක මේ නොපැවතීම ද සරල ලෙස පෙනෙන මුත් භයානක ය. අනෙක් පැත්තෙන් ෆූටා අරගලය පෙනී සිටින්නේ අපැහැදිලි තීන්දුවකට එරෙහිව නොව පැහැදිලිව හඳුනාගත හැකි අමනෝඥ තීන්දුවකට එරෙහිව ය. රටක අනාගතයේ නිශ්චිත දිශානතිය පූර්ණ ලෙස තීන්දු කෙරෙන්නේ එම රට විසින් අධ්‍යාපනය වෙත යොමු කරන වැය මත බව පැහැදිලි කිරීමට වෙනත් සාක්ෂි කැඳවීම් හෝ විතර්කන සොයා යෑම් අනවශ්‍ය ය.
මෙහිලා විදුලි පුටුවට යවන්නට නියම කොටගෙන ඇති ‘නිදහස් අධ්‍යාපනය‘ නමැති චූදිතයාට එරෙහිව ඇසුණු නඩුවක් නොවූ අතර කිසිවිට එහි ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට ෆූටාවට හෝ පුරවැසි සංවිධානවලට ආරාධනා නොලැබුණි. තත්‍ය ලොව රංගනයේ ෆූටා භූමිකාව ප්‍රබල ලෙස වෙනස් වන්නේ ජූරියක් නැති නඩුවක චූදිතයාට එරෙහි තීන්දුව ප්‍රශ්න කරන ස්ව-කැඳවන්නකු වී ඇති නිසා ය. ඔහුට කරුණු දක්වන්නට මනාව සකස් කළ වේදිකාවක් තිබුණේ නැත. වෙනත් සාමාජිකයින් (දසවැන්නා හැර!) පෙනෙන්නට සිටියේ ද නැත. තමන් විසින් ම නැගී වේදිකාවක් තනාගෙන නඩු තීන්දුව ප්‍රශ්න කිරීමේ අභීත තීන්දුවට ෆූටාව පිළිවිසියේ ය.
නමවැන්නා, එකොළොස්වැන්නා හා පස්වැන්නා නැගී ආ විලසින් ගුරු සංගම්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති ෆූටාව හා සිටගත් අතර සබුද්ධික පුරවැසි ප්‍රජාවේද එකතුවෙන් නාටකය වරෙක රැඳුණු ‘හයට හය‘ මධ්‍ය ලක්ෂයේ, අරගලයද මේ වන විට රැඳී ඇති බව මාගේ විශ්වාසය යි.
ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී නාටකයේ ඉතිරි අර්ධය රඟ ගත වූ සැටි මට හොඳින් මතක ය. තරගය අහිමි වේයැයි බියෙන් හත් වැන්නා සිය අදහස වෙනස් කළ අතර, අනිත් උන්ගේ අත් එසවෙන දෙස බලා දොළොස් වන ‘ඇඩ්වර්ටයිසින්කාරයා‘ සිය මතය හකුලා ගත්තේ ය. අවසන් තර්කය ද සාර්ථක ලෙස බිඳ වැටෙද්දී සිවුවැන්නා නිහඬ වූ අතර, ආත්මීයව ප්‍රශ්නය දෙස නොබලන ඥාණය පහළ වත්ම තුන්වැන්නා පරාජය භාර ගත්තේ ය. හාස්‍ය රසය නිබඳව ගෙනා දසවැන්නා පිටව ගියේ ‘තොපි ඔක්කොම අපතයො, ඕන එකක් කරගනියව්‘ කියමිනි.
දැන් අප ඉදිරියේ සිටින්නේ ද මෙම කණ්ඩායමයි. පිටපතක් නොමැති බැවින් නිසි තැන නිසි දෙබස මෙපිරිස නොකියනු ඇත. තරග අහිමි වෙතැයි බියෙන් ස්වාර්ථය රැක ගන්නට තැත් දරන්නෝ, විළඳ පොරි මෙන් අධ්‍යාපනයද ‘ඇඩ්‘ දමා විකුණන්නට බලා සිටින ‘ ඇඩ්වර්ටයිසින්කාරයෝ‘ හා වෙළෙන්දෝ, තමා දන්නා දෙය හා ඔළුවට දමාගත් හෝ දමන දෙය (රූපවාහිනියෙන්, ලේක්හවුසියෙන් හා ගුවන් විදුලියෙන් ඇතුළු) තර්කානුකූල සත්‍යය යැයි සිතන්නෝ, ආත්මීයව පාලක පක්ෂය හා බැඳී සිටින්නෝ ඒ භූමිකාවල වෙති. එහෙත් දෙබස්වලින් ‘තොපි සේරම අපතයෝ‘ වැනි වදන් කියමින් පෙරමුණේ සිටින්නේ දසවැන්නා පමණි. (හා එම භූමිකාවේ වෙනත් වේෂයන් පමණි.)
දැන් එළඹෙමින් පවතින්නේ කූටප්‍රාප්තියයි. එනිසාවෙන් නිශ්චිත දිශාවක් සොයා පෙරට ඇදෙන ෆූටා අරගලයේ ඉදිරි සටන වඩා තීරණාත්මක වනු ඇත. ‘පහළට - ඇතුළට‘ අනින ලදැයි කියා පෙරට ගෙනා, දරුවා පාවිච්චි කළැයි කී යතුරුතළ පිහියේ සිට සියලුම කැපෙන සුළු ආයුධ තවමත් විරුද්ධ පාර්ශවිකයින් අත ඇති අතර කොයි මොහොතක වුව ඒ භාවිතයට ගෙන නඩුවට විරුද්ධවාදියෙකු නැතැයි ද, තීන්දුව ඒකමතිකයැයි ද ‘විනිසුරු‘ ට දැනුම් දෙන්නට පිරිස මාන බලන්නට ඉඩ ඇත. පෙර දිනක ෆූටා සභාපතිවරයාගේ රථයේ රෝදයට යටින් තබන්නට ගෙනෙන ඇණයද ඒ ආයුධ පෙට්ටියේ පැත්තක තිබූ එකකි.
සෙස්සන්ට සිය අදහස නිවරැදි බව කියාදෙන්නට ‘දොළහක්‘ හි අටවැන්නා කොර ගසමින් වේදිකාව වටා ඇවිද ගියේ ය. අවශ්‍ය තැන්වල අනෙකාගේම තර්ක පදනම් කර ගනිමින් ඒ දිග ගොස් එහි ප්‍රති තර්කය නිවැරදි බව අනෙකාට පෙනෙන්නට ඉඩ හැරියේ ය. වරෙක නිහඬ විය. තවත් වරෙක ප්‍රවේගකාරීව හා ප්‍රවේශම් සහගතව වදන් ගොණු කළේ ය.
‘ෆූටාව‘ ටද සිය තර්කයේ ඇති නිවැරදි බව සෙස්සන්ට පසක් කරන්නට පාගමන් සම්පූර්ණ කරන්නට සිදුවනු ඇත. ඒ රට වටා ගොසිනි. තර්ක හා සංවාද හරහා සිය මතයෙහි ප්‍රබලත්වය ඒත්තු ගන්නන්නට සිදුවනු ඇත. සරල හාස්‍යය නිෂ්පාදනය කරන ප්‍රතිවාදී තර්ක මග හැර, නිහඬවී එවැනි මතයන්හි ඇති මන්දබුද්ධික බව ජනයා වටහා ගනිත්ම නිසි තන්හි ප්‍රවේශම්ව වදන් ගොණු කළ යුතුව ඇත.
අරගලයේ මුල් කාර්තුව පුරාම විශිෂ්ට ලෙස ෆූටාව මෙය ඉටු කළේ ය. මෙතෙක් අප රට නොවූ විරූ ලෙස අන්තර් ජාලය හරහා සමාජ සබඳතා ජාල වෙත ප්‍රවේශ වෙමින් ජනතාව වෙත පණිවුඩය සන්නිවේදනය කළේ ය. ෆේස් බුක් අඩවි, බ්ලොග් අඩවි, ෆූටා පුරවැසි යූ-ටියුබ් නාලිකාව මෙම පණිවුඩ පද්ධතියේ ප්‍රබල හා සක්‍රීය මෙවලම් විය. ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, දඹර අමිල හිමියන් හා ආචාර්ය මහීම් මෙන්ඩිස් වැනි කිහිප දෙනෙකුගේ ප්‍රකාශවලින් ප්‍රවෘත්ති සංස්කාරකවරයාගේ හිතුමනාපයට (ඔහුගේ නාලිකාවේ අවශ්‍යතා මත) පෙළ ගැස්වූ කොටස් හරහා සත්‍යය අර්ධව වටහාගත් ජනතාව යට කී පිරිසට අමතරව මහාචාර්ය නවරත්න බණ්ඩාර, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය දීපිකා උඩගම, ආචාර්ය දනේෂ් කරුණානායක ආදීන්ටද පූර්ණව සවන් දෙමින්, දහස් සංඛ්‍යාත සාමාජික පිරිසක් හා සංවාදයේ යෙදෙමින් ඇත්ත තොරතුරු හා බැඳෙනු පෙනේ.
එහෙත් සමාජ සබඳතා ජාලයන්ට වඩා බොහෝ ප්‍රබල විද්‍යුත් නාලිකා හා මුද්‍රිත මාධ්‍යය භාවිත කරමින් නිදහස් අධ්‍යාපනයේ ‘විදුලි-පුටු‘ සම්ප්‍රාප්තිය නිවරැදි බව බහුතරය වෙත දනවන්නට ‘දසවැන්නා‘ ප්‍රමුඛ ප්‍රති-පිළ තවම බලවත් ය. තීරණාත්මක මොහොතේ මෙහෙයුම් පුළුල් දැක්මකින් හා නිසි එල්ලයකින් යුතුව යොමු විය යුත්තේ එහෙයිනි.
පුරා පැය දෙකක නාට්‍ය කාලය අවසානයේ දසවැන්නා ද නිහඬ වූ පසු තුන්වැන්නා වේදිකාවේ පෙර බිම තනි වෙයි. ඔහුට එරෙහිව පසු වේදිකාවේ සිටගන්නා අටවැන්නා නාට්‍යයේ අවසන් දෙබස් කණ්ඩය මෙසේ පණ ගන්වයි.
“ඒ ඔබේ දරුවා නෙවෙයි... ඒ වෙන කෙනෙක්. එයාට ජීවත් වෙන්න ඉඩ හරින්න!“
ප්‍රබල දෙබස අවසන නිහඬ මොහොතක් එළැඹේ. අවසන තුන්වැන්නා මෙසේ කියයි.
“නිර්දෝෂයි!!“
අවසන් මොහොතේ එරෙහිව නැගෙන්නාට ද ෆූටාව කිව යුතු සමාන දෙබස් කණ්ඩයකි.
“මේ ඔබේ පුද්ගලික දේපලක් නොවෙයි. මේ රටේ හෙට දවසේ අධ්‍යාපනයයි!! එයට නිදහස්ව පවතින්නට, එය නිදහස්ව ලබන්නට ඉඩ හරින්න!!!“
නාටකය ජයග්‍රාහී නිමාවකට ප්‍රවේශ වනු ඇත.

Sunday 23 September 2012

ආණ්ඩුව විසින් රාජ්‍යය විනාශ කිරීම!



විශ්විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් දියත් කරනු ලැබ ඇති වැඩවර්ජනය ගැන ලියැවුණු ලිපි පිළිබඳ ව ගූගල් සෙවුමකදී ලැබුණු ලයිස්තුවේ එක් ලිපියක මාතෘකාව ලෙස සඳහන් වුයේ “Government Destroying State- ලෙසයි. පසුව එහි සම්පූර්ණ මාතෘකාව “Government Destroying State-provided Education because it is ‘easier to control uneducated fools’ බවත්, ලයිස්තුවේ ඇත්තේ කෙටිකිරීමක් බවත් තේරුම් ගතිමි. එහෙත් දැන් ලංකාවේ සිදුවන ක්‍රියාවලිය තේරුම් ගැනීමේදී ඒ කෙටි කරන ලද මාතෘකාවට ද අර්ථයක් ඇති බව මට සිතෙයි.
සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘රජය’ සහ ‘ආණ්ඩුව’ යන වචන සමාන අර්ථවලින් භාවිත වුවත් න්‍යායාත්මක ව ඒවා සැලකෙන්නේ එකිනෙකට වෙනස් සංකල්ප වශයෙනි. රාජ්‍යයට නිශ්චිත දේශසීමාව, ස්වාධිපත්‍යය, පුරවැසියන් හා ආණ්ඩුව යන මුලිකාංග අයත් වන අතර  ආණ්ඩුවට විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණය යන ත්‍රිවිධ ආයතන ඇතුළත් වෙයි. මේ අනුව ආණ්ඩුව යනු රාජ්‍යයෙහි එක් අංගයක් පමණි. එය රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා ඇති නියෝජනයකි. එසේම රාජ්‍යය ස්ථිර වන නමුත් ආණ්ඩු තාවකාලික වෙයි. රාජ්‍යය අස්පර්ශීය, අදෘශ්‍යමාන වූවක් ලෙස ද, ආණ්ඩුව දෘශ්‍යමාන ආයතනයක් ලෙස ද සැලකෙයි. වෙනත් ලෙසකින් කිවහොත් ආණ්ඩුවක් යනු රාජ්‍යයට අයත් දේශසීමාව තුළ නිශ්චිත කාල සීමාවකට රාජ්‍යය වෙනුවෙන් එහි නෛතික අධිකාරිය පවත්වාගෙන යන ආයතනයයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදය අනුව ආණ්ඩුවක් බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්ත මත පත්කෙරෙන අතර විපක්ෂයෙන් නියෝජනය කෙරෙන්නේ ආණ්ඩුවට කැමැත්ත පළ නො කළ ඡන්දදායකයන්ය. එහෙත් පක්ෂ විපක්ෂ සියලු දෙනා පුරවැසියන් ලෙස රාජ්‍යයට බැඳී සිටින අතර, රාජ්‍යයේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා බදු ගෙවීමට ද බැඳී සිටිති.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් මතු කොට ඇති කරුණු සාරාත්මක ව ගත් කළ සම්බන්ධ වන්නේ රාජ්‍යය සමගය. එය පටු ආණ්ඩු විරෝධයක් ලෙස අර්ථකතනය කිරීමෙන් ම ආණ්ඩුව, රාජ්‍යය සහ එහි පැවැත්ම ආණ්ඩුවට දෙවැනි වූවක් ලෙස සලකන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල සහ පාසැල් යනු රාජ්‍යයේ ආයතන මිස ආණ්ඩුවේ ආයතන නො වේ. නමුත් ආණ්ඩුව, රාජ්‍යය සහ එහි පැවැත්මට ඉහළින් තම අභිමානය තබා ඇති බව පැහැදිලි ය. ඉහත ලිපියේ සඳහන් වන ආකාරයට මෝඩයන් සිටීම පාලනයට පහසුවක් බව ආණ්ඩුව සිතනවා වෙන්නට පුළුවන. එහෙත් ආණ්ඩුවේ ඒ ගණන් බැලීම “රාජ්‍ය විරෝධී” ගණන් බැලීමකි. මන්ද ශක්තිමත් රාජ්‍යයකට ශක්තිමත්, උගත් පුරවැසියන් අවශ්‍ය වන නිසාය. ඒ අනුව අවසන් වශයෙන් ආණ්ඩුව රාජ්‍යයේ බලය පිරිහීමට ලක්කොට අසමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ කාර්යය ඉටු කරන්නෙකු බවට පත් වෙයි.   
විශ්විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සටන්පාඨය ලෙස ඉදිරිපත් වී ඇති “රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු” යන්න සැබවින්ම අර්ථාන්විත ය. අධ්‍යාපනය රාජ්‍යයට අයිති කාර්යයක් වන්නේ සුබසාධන අර්ථයකින් පමණක් නොවේ. එය රාජ්‍යය සතු බලය තහවුරු කිරීමේ සහ පවත්වා ගෙන යෑමේ ප්‍රමුඛ කාර්යයක් ද වන නිසාය. අන්තෝනියෝ ග්‍රාම්ස්චි රාජ්‍යයේ දෘෂ්ටිවාදීමය උපකරණ ලෙස පාසැල්, විශ්වවිද්‍යාල ආදිය හඳුනාගනියි. බැලූ බැල්මට පෙනෙන්නේ රාජ්‍ය විශ්විද්‍යාල විනාශ කිරීම සිය කාර්යභාරය ලෙස සලකන එස්. බී. දිසානායක මහතාත්, පාසැල් විවෘත කිරීම නොව වසා දැමීම සිය කාර්යය ලෙස සලකන බන්දුල ගුණවර්ධන මහතාත් ග්‍රාම්ස්චිට අභියෝග කර ඇති ආකාරයකි! ඒ අනුව ලංකාවේ රාජ්‍යයට දෘෂ්ටිවාදී මර්දන උපකරණ අවශ්‍ය නැත. සැබවින්ම මේ සිදුවෙමින් පවතින්නේ මුහුණත් සමග තරහ වී නහය කපාගන්නා රංගනයකි. අධ්‍යාපනය වැඩකට නැති සුබසාධන වියදමක් ලෙස සලකා එය ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන්නට යනවිට අනෙක් අතින් අධ්‍යාපනය හා රාජ්‍යය අතර ඇති සම්බන්ධය අභියෝගයට ලක්වීම නො වැලක්විය හැකි ය.    
එපමණක් නොව  සම්භාව්‍ය මාක්ස්වාදී ඉගැන්වීම්වලට අනුව රාජ්‍යය යනු මර්දන යාන්ත්‍රණයකි. මේ යාන්ත්‍රණයේ උපකරණ ලෙස නීති ක්‍රමයක්, නිලබල ක්‍රමයක්, සන්නද්ධ හමුදා, පොලීසිය, උසාවි, සිරගෙවල් සැලකෙයි. මේ සියලු ආයතන දේශපාලනීකරණය හා ආණ්ඩු-ප්‍රේමයට යට කිරීම මගින් සිදුවන්නේ රාජ්‍යයේ බලය පිරිහීමයි. මේ අනුව වත්මන් ආණ්ඩුව මාක්ස්ගේ න්‍යාය ද අර්බුදයට යවා තිබේ! 
මේ දිනවල ඉදිරියට දමා තිබෙන දේශප්‍රේමිත්වය සහ විදේශ කුමන්ත්‍රණ පිළිබඳ ප්‍රබන්ධවලට ද  මෙහිදී පිළිතුරක් ලැබෙයි. දේශප්‍රේමිත්වය සම්බන්ධවන්නේ ජාතිකත්වයට වන අතර එය රාජ්‍යට බැඳී තිබේ. නලින් ද සිල්වා ඇතුළු බොහෝ ඊනියා දේශප්‍රේමින් ආණ්ඩු-ප්‍රේමීන් මිස  දේශප්‍රේමින් නො වේ. ඔවුහු කෙතරම් ආණ්ඩු-ප්‍රේමින් ද යත් ආණ්ඩුව විසින් රාජ්‍යය විනාශ කිරීමේ ක්‍රියාවලියට උඩ ගෙඩි දෙමින් සිටිති. ආණ්ඩුව විසින් රාජ්‍යය විනාශ කිරීම දේශප්‍රේමයේ නාමයෙන් සුජාත කරන ඔවුහු රාජ්‍යයේ බලය පිරිහවන දේශද්‍රෝහීන්ය. ලෝකයේ මෑත කාලින සිදුවීම්වලින් පැහැදිලි වන්නේ  විදේශිය මැදිහත්වීම්වලට සැමවිට ම ඉඩ විවර වන්නේ රාජ්‍යය බල රහිත වූ විට බවයි. ඒ අනුව සැබවින්ම රාජ්‍යය දුර්වල කිරීම මගින් විදේශීය කුමන්ත්‍රණවලට පාර කපන්නේ ආණ්ඩුවයි.  
රාජ්‍යය යනු නැවක් නම් ආණ්ඩුව යනු එහි ප්‍රධාන නැවියා සහ  ඔහුගේ නිළධාරී පිරිස යයි කියමනක් තිබේ. දැන් ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ප්‍රධාන නැවියා සහ සෙසු නැවියන් විසින් නැව විනාශ කිරීමය! 

Tuesday 11 September 2012

අපි බයද ...අපිව බය කරන්න පුලුවන්ද?


 

අපි අපගේ අරගලයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටිමු. මේ වනාහි අපගේ එකමුතුභාවය, ශක්තිය සහ කැපකිරීම පමණක් නො ව අපගේ මානව අභිමානය ද පරික්ෂාවට ලක්කෙරෙන මොහොත යි.  සියලු ආකාරයේ තර්ජන, ගර්ජන, බියවැද්දීම්, අපහාස, උපහාස, අවමන්, අවලාද සියල්ලට මුහුණ දෙමින් අපි ඉදියට ම ඇදුනෙමු. අපට එරෙහි ව ගෙනා සියලු තර්ක විතර්කවලට ඇති තරම් පිළිතුරු දුන්නෙමු; කුඩා දරුවෙකුට පවා තේරෙන තරම් සරල ව, විස්තරාත්මක ව, සන්සුන් ව,  කරුණින් කරුණ, සියල්ල පැහැදිලි කළෙමු. ඉතා ම නිහතමානී නම්‍යශීලි මිනිසුන් ලෙස යම් සාධාරණ එකඟතාවකට  පැමිණීම සඳහා  අවංක සිතින් සාකච්ඡාවලට සහභාගී වීමු; තවදුරටත් සහභාගී වෙමින් සිටිමු. ඉවසිලිවන්ත ව, විනයගරුක ව, නීතිගරුක ව, වගකීමෙන් යුතු ව අපගේ අදහස සමාජගත කිරීම සඳහා වෙහෙසුනෙමු.

අපට එරෙහි ව කළ හැකි සියල්ල රජය කළේය. අනේකාකාර චෝදනා කළේය. ව්‍යාජ බුද්ධි වේශධාරින්ගේ සිට කුලියට කුණුහරුප ලියන්නන් හා කියන්නන් දක්වා විවිධ විකට රූප කරලියට ගෙනාවේය. ජුදාස්ලා පෝෂණය කළේය. වැටුප් නවතා අපගේත් අපගේ දුවා දරුවන්ගේත් ජීවිත ආර්ථික අපහසුකම්වලට ලක්වනු දැකීමේ කාලකන්නි සතුට භුක්ති වින්දේය. (අප හාමතේ නො සිටි බව සැබෑ ය. එහෙත් මාසික වේතනයෙන්  හතර අතේ බැංකුවලට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ඉතුරු වන මුදලින් “විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්” යන නම යන්තම්  බේරාගෙන ජිවත්වන්නට කරන “සටන” ගැන දන්නේ අප ම පමණි. එලෙස ජිවත් වන අපට මාස දෙකක් වැටුප් නැතිව ජිවත් වීම යනු සැබවින් ම අපහසු දෙයකි. එහෙත් අප ඒ සියලු අපහසුකම් විඳදරා ගෙන නොසැලී සිටින්නට සමත් වූයෙමු.) අප රැවටීමට උත්සාහ කළේය. උගුල්වලට හසු කර ගැනීමට උත්සාහ කළේය. මෙකී නොකී සියල්ල කළ ද පලක් නොවීය.

දැන් ඔවුන් වියරු වැටි ඇති සෙයකි; සම්මත මානව සදාචාරයේ අවම කොන්දේසි පවා උල්ලංඝනය කරන තරමට වියරු වැටී ඇති සෙයකි; කෙක්කෙන් බැරි නම් කොක්කෙන් න්‍යාය ක්‍රියාත්මක කරන්නට යන සෙයකි.

ඔවුන් මෙතරම් වියරු වැටී සිටින්නේ ඇයි? රටේ අනාගතය පිළිබඳ  ප්‍රශ්නයක් මතු ව ඇති විටෙක එය සාධාරණව සලකා බලනවා වෙනුවට එය සිය ආත්මාභිමානය පිළිබඳ ප්‍රශ්නයක් සේ ගෙන උමතුවෙන් මෙන් දොඩවන්නේ ඇයි? රටක පිළිගත් වෘත්තිකයන්   පිරිසක් නො ව අපරාධකරුවන් පවා  ආමන්ත්‍රණය කිරීමට යොදා නොගන්නා මට්ටමේ පහත් වචන භාවිත කරමින් තමතමන්ගේ නො හැදියාවේ සහ ග්‍රාම්‍යත්වයේ තරම ප්‍රසිද්ධියේ පෙන්වීමට තරම් ඔවුන් වියරු වැටි ඇත්තේ ඇයි?

අපි අපගේ අරගලයේ මෙතෙක් ගමන් මග කෙටි විමසුමකට ලක් කළ හොත් පිළිතුර ඉතා පැහැදිලි ය. රජය මුලින් ම අපගේ අරගලය ගැන සිතුවේ සරල ව ය. එය එතරම් දුර නො යනු ඇතැයි යන්න බලධාරීන්ගේ සාමාන්‍ය අදහස විය. තමන් දන්නා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකුගේ මට්ටමෙන් සමස්තය ගැන ගණන් බැලීමක් කරන්නට යාම මෙහි දී ඔවුන් කරගත් බරපතල ම වැරැද්දයි. තම දෙපා ළඟ දැවටෙමින් සුවච කීකරු ව “කන්න දෙනවා නම් අපට බොන්න දෙනව නම් මොන කෙන්ගෙඩිය ද තව ඕන කියන්නේ” යන න්‍යාය සිය ජිවන පැවැත්ම කරගත් කවටයින් කිහිප දෙනෙකුගේ මට්ටමින් සමස්ත විශ්වවිද්‍යාල අචාර්ය සංහතිය ම මැනීමට යාමෙන් තමන් සිදු කරගත් වැරැද්ද තවමත් ඔවුන්ට තේරී නැති බවක් පෙනී යයි. නිහඬ ව තම ශාස්ත්‍රීය ජීවිතයට මුල් තැන දී කටයුතු කරන කීර්තිමත් ජ්‍යෙෂ්ට ආචාර්ය මහාචාර්ය  පරපුරක් මෙරට සිටින බව ඔවුන්ට මගහැරී ගියේය.  එසේ ම තම ශාස්ත්‍රීය වගකීම මෙන්ම සමාජීය වගකීම ද පිළිබඳ සංවේදී නව පරම්පරාවක් විශ්වවිද්‍යාලවල අචාර්ය මණ්ඩලය නියෝජනය කරන බව ද ඔවුන්ට මග හැරී ගියේය. තනතුරු, වරදාන, වරප්‍රසාද, නොව මනුෂ්‍ය අභිමානය වැදගත් කොට සලකන, තර්ජන, ගර්ජන බියවැද්දීම් ඉදිරියේ ප්‍රතිපත්ති පාවාදීමට සූදානම් නැති ගැහැනුන් සහ පිරිමින් මේ පරම්පරා දෙකෙන් ම මතු ව විත් පෙරමුණ ගෙන, බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අභිමානයේත්, සමාජ වගකීමේත් අභිලාෂයන් පෙරට ගෙනෙනු ඇතැයි යන්න ඔවුන්ට මග හැරී ගියේය. 

ඉන් පසු සිදුවුයේ කුමක්ද? ඔවුන්ගේ ගණන් බැලීම්වලට ප්‍රතිවිරුද්ධ ව අප සියලු දෙනා ම එක ම පොදු අරමුණක් වෙනුවෙන් පසු නො බැස ඉදිරියට ම යාම ය. අපි අපගේ අරගලයේ දී ඔවුන් සිහිනෙන්වත් නොසිතූ ලෙස අපගේ අදහස් සමාජ ගත කිරීමට සමත් වීමු. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කිරීම පිටසක්වලින් ගෙනා අදහසක් සේ පෙන්වීමට ගත් උත්සාහයන් පරාජය කරමින් අපි එයට මෙරට බුද්ධිමතුන්ගේ සහය දිනා ගැනීමට සමත් වීමු. විශ්වවිද්‍යාල දේශපාලනීකරණයට හා අධ්‍යාපනයට කරන රාජ්‍ය ආයෝජනය කපාහැරීමට එරෙහි ව අප ගෙන ආ ඉල්ලීමට හිටපු උපකුලපතිවරුන්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිවරුන්, කීර්තිමත් මහාචාර්යවරුන් අප සමග එක පෙළට සිටගන්නා විට ඔවුන්ට සිටියේ හොඳක් නොහොඳක් නොබලා ඕනෑම දේකට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නලින්-අමරසේකර දෙබානත් ඊයේ පෙරේදා “සන්ඩේ ඔබ්සර්වර්” පත්‍රය විසින්  “ප්‍රමුඛ ආර්ථිකවිද්‍යාඥයෙකු” බව සොයාගන්නා තුරු කිසිවෙකුත් ඒ බව දැන නො සිටි  ලලිතසිරි ගුණරුවන් වැනි කවට කථිකයන් දෙතුන් දෙනෙකුත් පමණි. මෙරට සිතන මතන මිනිසුන් අපගේ අදහසට සංවේදී වූ බවට ඇති හොඳ ම සාධකයක් වන්නේ  මෙරට විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය විසින් අපගේ අරගලයට වෙන් කරන ඉඩ ප්‍රමාණයෙහි වෙනසයි. (ලංකාවේ ඡන්ද දිනන්නේ “නරඹන” ජනයාගේ ඡන්දවලින් මිස “කියවන” ජනයාගේ ඡන්දවලින් නො වේ. අප අතරමත්  ITN “නරඹන” ජනයා පිළිබඳ ප්‍රශ්නය කියා දෙයක් සාකච්ඡාවට ලක්වන නමුත් දිනමිණ  “කියවන” ජනයා යනුවෙන් ප්‍රශ්නයක් සාකච්ඡාවට ලක් නො වන්නේ මේ නිසා ය. දිනමිණ විකිනෙන්නේ නැති බව චිරප්‍රසිද්ධ කරුණකි. “නරඹන” ජනයාගේ ඡන්ද බලය ප්‍රබල වුවත් දිගුකාලීනව ගත විට ඡන්දය දීම පිළිබඳ ඔවුන්ගේ අදහස නිර්මාණය කරන්නේ “කියවන” ජනයා ය. මේ නිසා තමන්ට වැඩි ප්‍රමාණයක් මිනිසුන් ඡන්දය දී ඇති නිසා අපගේ අරගලය පොඩි පට්ටම් කිරීමට ජනවරමක් ලැබී ඇතැයි යමෙකු සිතනවා නම් අපට එයට කියන්නට ඇත්තේ තේරන භාෂාවෙන් නම් “මෝඩ චූන්” කියා ය.  ) මේ සිතන මතන මිනිසුන්ට ආසන්න ඡන්දයක දී එතරම් දෙයක් කළ නොහැකි වුවත් ඔවුන්ගේ බලපෑම ප්‍රබල ය. අනෙක් අතට අපි 6% ඉල්ලීම මෙරට ශිෂ්‍ය පරපුරේ සටන් පාඨයක්  බවට පත් කරන්නට සමත් වීමු. අප පරාජය කරන්නට ඔවුන්ට නො හැකිය. එසේ කිරීමට ඔවුන් කුමනාකාරයකින් හෝ සමත් වුව ද අපි අපගේ අදහස සමාජයේ යළි යළිත් ලියලන සමාජ ඉල්ලීමක් ලෙස දැනටමත් සමාජගත කොට ඇත්තෙමු.

ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන්ට සින්නක්කර ලියා දී ඇති දෙයක් නිසා අපට ඒ කලාපයට ඇතුළු නොවෙන්නැයි කියූ ගොඩවෙදුන්ගේ වංචාකාර මුසා බස් පැරදවීමට අපි සමත් වීමු. බලයේ නො සිටින තත්වයක දී වුවද මෙරට විපක්ෂනායකවරයා 6% ඉල්ලීම පිළිගැනීම  මගින්  ගොඩවෙදුන්ට නිසි පිළිතුරක් ලැබුණි. අනෙක් අතට වැඩි ඡන්දයෙන් බලයට පත්වූ රජයකට වුව එම  රටේ මිනිසුන් සිය ඉරණම තීරණය කිරීමේ පූර්ණ වරමක් දී ඇතැයි යන අදහස අපි අභියෝගයට ලක් කළෙමු. සමාජයට බලපාන පොදු කරුණුවල දී පුරවැසියාට මැදිහත්වීමට ඇති අයිතිය පිළිබඳ පණිවුඩය අපි සමාජයට ගෙන ගියෙමු.  තමන් සර්ව බලධාරී වන හෙයින් ඕනෑම දෙයක් කිරීමට බලය ඇතැයි සිතන අනභියෝගී බලාධිකාරයකට අපි අභියෝග කළෙමු. ඒ ඉදිරියේ  දණ නො නැමුවෙමු.

එපමණක් නො වේ. අපගේ අරගලය සෙසු වෘත්තීය සමිති හා සංවිධාන අතරට ගෙනයාමටත් ඔවුන්ගේ සක්‍රිය සහයෝගය දින ගැනීමටත් අපි සමත් වීමු. අධ්‍යාපනය වැනි කරුණක් අරබයා මෙතරම් පුළුල් වෘත්තීය සමිති සහයෝගිතාවක් ලංකාවේ මෑත කාලින ඉතිහාසය තුළ ගොඩනැගී නැතැයි කිවහොත් නිවැරදි යයි සිතමි.

මෙතෙක් ශේෂ පත්‍රය මෙබඳු ය. වියරු ප්‍රතිචාර එනිසා ය. කලබල වී ඇත්තේ ඔවුන්  ය. ඔවුන්ට හැමදාමත් අභියෝගය වූයේ අපගේ එකමුතුභාවය යි. මේ වියරු ප්‍රතිචාරවලට ද එක ම පිළිතුර එයයි.  මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයා පිළිබඳ ව සාධනීය ප්‍රතිරූපයක් සිතන මතන මිනිසුන් තුළ තහවුරු කරන්නට අපට හැකිවී තිබේ. ඔවුහු අප දෙස බලා සිටිති.  දැන් අපගේ අරගලය හුදු වැටුප් අරගලයක්වත්, වෘත්තීය අභිමානය පිළිබඳ අරගලයක්වත්, අධ්‍යාපනයට කරන රාජ්‍ය ආයෝජනය  වැඩි කරගැනීමේ අරගලයක්වත්, ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳ අරගලයක්වත් පමණක් නො වේ. දැන් එය මානව අභිමානය පිළිබඳ අරගලයකි. අප “මහජනයා” දිනා ගෙන නැති බව ඇත්තක් විය හැකි වුවත් මහජනයා වෙත පණිවුඩ ගෙනයන්නන් දිනාගැනීමට අපි සමත් වී සිටිමු;  ඔවුන්ගේ බලාපොරොත්තුව බවට පත් වී සිටිමු. අපගේ ශක්තිය ගැන අප ම අවත්කසේරු කර ගැනීම මේ මොහොතේ සිදු කරන බරපතල ම වරද යි. අප වටා "මහා ජන " පවුරක් ගොඩනැගී නැති වන්නට පුළුවන. එහෙත් මහා ජන පවුර ගොඩනගන බලවේග අපවටා පෙළ ගැසී අවසන් ය. 
අදහස් පරාජය කළ හැක්කේ අදහස්වලින් මිස බියගැන්වීම් හෝ ගැලරි කතාවලින් නො වේ. ඒවාට මාරුවීමෙන් ඔවුන් පෙන්නුම් කොට ඇත්තේ දැනටමත් අදහස් අතින් තමන් පරාජයට පත් ව ඇති බව ඔවුන් පිළිගෙන ඇති බවයි. අපි නො සැලී අපේ එකමුතුකමේ ශක්තියෙන් මේ ප්‍රචන්ඩත්වයට ද මුහුණ දෙමු. බලහත්කාරයෙන් වැඩට යොදවා මිනිසෙකුට කියා කාණුවක් කපා ගන්නවාක් මෙන් අපට කියා දේශන කරවා ගත නො හැකි ය. අප වෙනුවට වෙනත් සේවාවල මෙන් අදේශකයන් යොදවන්නට නො හැකි ය. ජුදාස්ලා අතලොස්සකට කළ හැකි දෙයක් ද නැත. වියරු වැටී ඇත්තේ මේ යථාර්තයට මුහුණ දීමට නො හැකිව ය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ දුවද්දී දැවීයාම්වලට හසු කර ගැනීමේ උපායන්ට හසු නොවී  සීරු මාරුවට අවශ්‍ය ඉතිරි ලකුණු ටික රැස් කිරීම යි.

Friday 7 September 2012

ITN ජනයාගේ ප්‍රශ්නය සහ තවත් කතා ගැන...........ඡන්ද ප්‍රතිඵල එන්න කලින් ........


 

FUTA අරගලයේ අතුරු මාතෘකාවක් ලෙස “ජනතාව”   පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇති බවක් පෙනී යයි. ජනතාව මේ පිළිබඳව දැනුවත් නැති බවත් ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඇතැමෙකුගේ අදහසයි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යවල ප්‍රචාර නිසා ජනතාව නොමග ගොස් ඇති බව ද, ඔවුන් FUTA  අරගලය පිළිබඳ ව වැරදි අදහසක සිටින බව ද, බොහෝ විට මතුකරනු ලැබ ඇති ප්‍රශ්නයකි. මෙය තේරුම් ගැනීමේ පහසුව තකා ITN ජනයාගේ ප්‍රශ්නය ලෙස නම් කිරීමට කැමැත්තෙමි.

මගේ අදහස නම් ලංකාවේ ITN නරඹන ජනයා කොටස් දෙකකට වර්ග කළ හැකි බවයි. ඉන් පළමු කොටස නම් ITNප්‍රිය ජනයා ය. ඔවුන්  ITN නරඹන්නේ තමන් කැමති දේ එයින් ලැබෙන නිසාය. වෙනත් විදියකින් කියනවා නම් මේ ජනයා වනාහි බොරුව පතාගෙන සිටින ජනතාවකි. මේ ජනයා කොහොමටත්  FUTA අරගලයට තියා ලෝක විනාසයටවත් නොසැලෙන, බොරුවේ ම ඇලී ගැලී සිටීමට තරයේ අදිටන් කරගත් ජනතාවකි. එනිසා ඔවුන් පිළිබඳව කලබල වීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. නලින් ද සිල්වා වැනි සමස්ත බටහිර දැනුම්  පද්ධතියට ම  අභියෝග කරන “මහා පුරුෂයෙකු” පවා පත්ව ඇති  ඛේදජනක තත්වය දෙස බලන විට මේ ජනයා ගැන පුදුමයට පත් වීමට දෙයක් නැත. 

ITN නරඹන දෙවැනි ජන පිරිස නම් අනෙකුත් නාලිකාවලට ප්‍රවේශයක් නැති ජනයා ය. ඔවුන්ට පැහැදිලිව පෙනෙන නාලිකාවකට ඇත්තේ ITN පමණි. ඒ අර්ථයෙන් ගත් විට මේ ජනයා වනාහි ලංකාවේ රුපවාහිනී විකාශන කලාප ආවරණයේ අසමාන ව්‍යාප්තියෙහි ගොදුරකි. 

මේ දෙවන ජන කොටස පිළිබඳ ව කතා කිරීමේදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු දෙකක් තිබේ. පළමුවැන්න සැබවින් ම මෙසේ  ITN තනි භුක්තියට සින්න වී ඇති භුමි ප්‍රදේශය ලංකාවේ මුලු වර්ග කිලෝ මීටර ප්‍රමාණයෙන් කොපමණක්ද? ඒ භූමි ප්‍රදේශයේ ජනගහනය ලංකාවේ සමස්ත ජනගහනයෙන් කොපමණක්ද? යන්නයි.  ගනම් මිනුම් හරියටම ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතත්, ජනශුන්‍ය ප්‍රදේශ අත හැර ගත් විට  එය එතරම් විශාල භුමි ප්‍රදේශයක් නොවන බව නම් පැහැදිලි ය. අනෙක් අතට ජන ඝනත්වය අතින් පහළ අගයක් ඇති මේ ප්‍රදේශවල ජනගහනය ලංකාවේ මුලු ජනගහනයෙන් ප්‍රතිශතාත්මක ව ගත් විට නොසැලකිය යුතු තරම් ය.

අනෙක් වැදගත් කරුණ මා මතු කරන්නට යන මූලික අදහසකට සම්බන්ධ ය. එනම් මේ ප්‍රදේශවලට ITN පමණක් පෙනෙන හේතුව කුමක්ද යන්න යි. වානිජමය රුපවාහිනී නාලිකා සිය විකාශන කලාප ආවරණයේදී මේ ප්‍රදේශ පිළිබඳව එතරම් සැලකිලිමත් නො දක්වන්නේ හේතු දෙකක් නිසා ය. පළමුවැන්න මේ ප්‍රදේශවල අඩු ජනගහණය යි. දෙවැන්න තම අනුග්‍රාහක වෙළඳ සමාගම්වල පණිවුඩ සඳහා මේ ප්‍රදේශවල ජනයා ඉලක්කගත කණ්ඩායමක් ලෙස එතරම් වැදගත් නො වන බවට ඇති තක්සේරුවයි.

ලංකාවේ ජිවත් වන හැම මිනිසෙකු වෙත ම අපගේ පණිවුඩය ගෙන යාමටත් හැම මිනිසෙක් ම අපගේ අරගලයට දිනා ගැනීමටත් (අන්තිමයා වශයෙන් එස්. බී. දිසානායක මහතා ද ඇතුළු ව!)  හැකි නම් එය ඉතා ම හොඳ ය. එවැනි ප්‍රාර්තනාවන් පවා අපට ධෛර්යයක් බව පිළිගන්නා අතර ම ප්‍රාර්තනාවන් සහ යතාර්ථය අතර ඇති දුර පිළිබඳ ව අවබෝධය අරගලයක දී අත්‍යවශ්‍යය බව අප අමතක නො කළ යුතු ය. එනිසා අපගේ ශක්තිය සහ හැකියාව අනුව අපට අපගේ පණිවුඩය ගෙන යායුතු හා අපගේ අරගලයට දිනාගත හැකි “ජනතාව” තෝරා ගැනීමට සිදුවන බව මගේ අදහසයි. හරියට ම කියනවා නම් ලංකාවේ පෞද්ගලික රුපවාහිනී නාලිකා සමහර ප්‍රදේශවලට සිය විකාශනයන් ව්‍යාප්ත කිරීමට වද වෙන්නේ නැති ලෙස ම, අප ද  අපගේ ඉල්ලීමට වඩාත් ම සංවේදී විය හැකි, වඩාත්  ම සමීප විය හැකි සහ ඒ සඳහා රජයට වැඩි ම බලපෑමක් කළ හැකි “ජනතාව” ඉලක්ක කරනවා විනා “ජනතාව” නම් වියුක්තයක් පිළිබඳ ව වද වීමෙහි එතරම් ප්‍රයෝජනයක් තිබේද යන්න අප විසින් සිතා බැලිය යුතු ය.

අපට අපේ පණිවුඩය ගෙන යායුතු “ජනතාව” තෝරා ගැනීමට සිදුවන්නේ ඇයි? “ජනතාව” යයි අප කියන විට එයින් යම් නිශ්චිත සමස්තයක් අදහස් වන්නේ නැත. උදාහරණ වශයෙන් ළමා අපචාර චෝදනා ලැබ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිට පක්ෂ ව “ජනතාව” පෙළපාලි ගියෝය; මහ දවල්  මිනීමැරූ දුමින්ද සිල්වාට සෙත් පතා “ජනතාව” බෝධි පූජා පැවැත්වූහ; FUTA අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට ද “ජනතාව” ඉතා උද්යෝගයෙන් අත්සන් තබති; මේ කොතනත් ඉන්නේ “ජනතාවය”.   ඒ නිසා “මිනිස්සු/ජනතාව දන්නේ නෑ.”, “මිනිස්සු/ජනතාව නොමග යනවා.”, “ මිනිස්සු/ජනතාව විරුද්ධයි” වැනි ප්‍රකාශ “මොන ජනතාව ද?” සහ “මොන ප්‍රශ්නයට අදාළව ද?” යන ප්‍රශ්නවලට අභිමුඛ කළ යුතු ය. මා මෙතරම් විස්තර සහිත ව මේ ගැන ලියන්නේ වෙන කිසිවක් නිසා නො වේ. අනිද්දා පාන්දරට ඡන්ද ප්‍රතිපල එනවිට අලුත් ගායනයක් ඇසීමට ඉඩ ඇති නිසා ය. එනම් “ජනතාව” ඉන්නේ රජය සමග බව ය. FUTA අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබූ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සිටිති. එනිසා ඡන්දයේදී “ජනතාව” හැසිරෙන ආකාරයෙන් රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවසන් “ජනතා” මතයක් ප්‍රකාශයට පත්වෙතැයි සිතිය නො හැකි ය. ජනතාව යනු පුද්ගලයන්ගේ එකතුවක් නම් මේ තනි තනි පුද්ගලයෝ වෙනස් වෙනස් කාරණාවලට අදාළ ව, වෙනස් වෙනස් පුද්ගලයන් සමග එක්වී, වෙනස් වෙනස් “ජනතාවන්” බවට පත්වෙති.  ඒ අර්ථයෙන් ගත් විට FUTA අරගලය සමග “ජනතාව”  සිටින්නේය යන්න සත්‍යයක් වනවා මෙන්ම FUTA අරගලයට JVPකාරයන්ගේ වැඩක් යයි කියන “ජනතාවක්” සිටින්නේය යන්න ද සත්‍යයකි.

ප්‍රායෝගික උදාහරණයකින් කියනවා නම් ඈත වන්නි ගම් හත් පත්තුවේ මිනිසුන් අපගේ අරගලය ගැන කියන දේවල්  පිළිබඳව වද වීමට පෙර අධ්‍යාපනය හා ඍජුව සම්බන්ධ වෘත්තිකයන් සහ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින, මත නිෂ්පාදනයෙහි ප්‍රමුඛ වන, සම වෘත්තිකයන් අතරට අපගේ ඉල්ලීම ගෙන යමින් ඔවුන්ගේ බලපෑම රජය මත ඇති කිරීම කෙරෙහි අප වැඩි සැලකිල්ලක් දැක් විය යුතු ය.  අපගේ වැනි අරගලයක දී අප වටා එක්වන“ජනතාවගේ” ප්‍රමාණයට වඩා ගුණය වැදගත් බව මගේ නම් අදහසයි. කිසිලෙසකින් වත් මෙයින් අත්සන් දස ලක්ෂයේ පෙත්සම හෝ පා ගමන් හෝ වෙනත් ක්‍රියාකාරකම් අනවශ්‍යය යන්නක් අදහස් නො කෙරෙයි. අනිවාර්යයෙන් ම  ඒවා තව තවත් තීව්‍ර කළ යුතුම ය. එහෙත් මුලු රටේම “ජනතාව” එක හඬින් FUTA ඉල්ලීම් අනුමත කරමින් වීදි බසිනු ඇතැයි බලාපොරොත්තු වීමෙහි තේරුමක් නැත. අප දැනටමත් අපේ අදහස සමාජ ගත කොට අවසන් ය. එය සමාජයේ විවිධ තලවල ක්‍රියාකාරී මත සම්ප්‍රේෂකයන් අතින් පෙරී සමාජයේ පහළම තට්ටුන් කර ළඟාවීමට යම් කාලයක් අවශ්‍යය ය.  මේ මොහොතේ අපගේ උපාය මාර්ග සකස් විය යුත්තේ රජයට වැඩි ම බලපෑමක් කළ හැකි “ජනතාව” අප වෙත දිනා ගනිමින්, අඩු ම කාලයක් තුළ අපගේ මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රජය යොමු කර වීම ය. අපගේ සමාජ වගකීම පිළිබඳ අප සියලු දෙනාගේ දැල්වෙන උද්යෝගය  සැබවින්ම පරික්ෂාවට ලක්වනු ඇත්තේ අරගලයෙන් පසුව ය. මේ අරලය තුළ හමුවූ මිනිසුන් සහ ගැහැනුන් අරගලයෙන් පසුව ද සටන අත් නො හරිනු ඇතැයි යන්න පිළිබඳ ව මට නම් ඇත්තේ සුබවාදී බලාපොරොත්තුවකි.

Saturday 1 September 2012

A Letter to Malinda……Sealed with a hug….


 

Dear Malinda,

“what rules did i break? i have the highest respect for academics, i.e. those who deserve the title 'academic'. not for jokers who cannot counter point with point. they were all exposing themselves by their language, tone and commentary. i will not post/comment again. i made that clear. all i said was that i will post one more thing. the picture we carried in our news page on sunday and which is the cover photo of our website. as a beneficiary of free education, i too have, am and will fight for free education. as a beneficiary of free education i think i owe it to those who paid for my education not to celebrate mediocrity. some people on this list don't read, or can't understand what they read. anyway, i support your cause, i just find a lot of the futa members to be self-serving jokers. so, even long after this salary issue is done, if you read my articles, you will find me batting on your side (i.e. the side of free education, not 'compromising integrity because the cause is more important'). cheers!”

After reading this message from you I was in two minds whether to reply you or not. It’s an interesting message; the cream of your “arguments” is seasoned with your aggressive sentiments and tactically placed on the binary line of proponents/opponents of the FUTA struggle. So, I felt like it deserves a reply in public.

What rules did you break? In short, your message itself is a fine example. You accuse some of the FUTA members of their language and tone. But see how you yourself have used language: “jokers”, “who cannot counter point with point” “who don’t read”, “who can’t understand what they read” and “self-serving jokers”. If you call a person a “joker” you should not expect him or her to address you in pleasing words in return. This applies to other things too. I really don’t want to mention them in detail here, as my purpose of writing this reply is not to go back to that level again.

May be they do not fit into your ideal image of a “humble, honest, and hard-working true academic” and do not deserve the title ‘academic’ in your judgment. You are free to express your opinion. But a continuous attempt to insult a profession and tarnish its image, abusing your power as a chief editor of a national newspaper, especially in a crucial moment like this, will not be tolerated even by a group of saints.

Some FUTA members had to hit you hard and, yes in a sense, exceeded their limit, as you also had exceeded the limit progressing provocatively, with your mastery of words. You always advocate reason over sentiments. But when it comes to reality people do not act only on reason. Both you and “some” FUTA members including myself have exemplified it in our exchange of words.

In your opinion you had only criticisms in what you wrote on FUTA TU action. But as a careful reader of everything you wrote on this particular matter, I do not think they are mere criticisms. They are not genuine and positive criticisms at all.

Let me explain this to you with an example that is very much understandable to you. During the war period whenever allegations against the military forces came up, many people including you regarded them as conspiracies attempting to demoralize the war heroes. Even an artistic work like “Purahanda Kaluwara” was considered as something that demoralized the war heroes. Not a word was spoken or written about the corrupt higher rank officers in security forces. Leave corruption aside. Even an obvious and brutal crime like the rape and murder of Krishanthi Kumaraswamy was considered something “normal” and ignorable. Anyone who said a word against corruption or indiscipline in military forces was named as a traitor of mother Sri Lanka, solely on the claim that it will affect the high morale of the military forces. It is non-arguable that we would not have been able to defeat a powerful terrorist group if we had tried to take each and every single allegation made against our war heroes into account.

My dear friend, the same applies here. When we are in a struggle, facing a definite danger, we are forced to go for priorities whether we like it or not. This is not a problem of compromising integrity as you understand it. The worst and the greatest moment in a struggle is the moment in which you have to betray your principles. It’s a choice between either to keep your nice (“academic”) identity and leave the ground or put your identity at risk and fight and move forward. May be a thousand and one allegations always highlighted in your editorial have a ground. I am not in a position to deny them totally. (But I never agree with your sweeping generalizations. The words “many” and “few” are often temptingly misleading. We all like to use these two words as they always make us feel easy and comfortable.) The important question here is what should be given priority at this crucial moment. Are the issues you raise burning issues when compared to the danger of destroying a whole system of social justice, a national heritage we all are proud of? My point is simple; that we cannot fight in several fronts simultaneously. To my understanding, what is crucial at this juncture is to defeat all the arbitrary educational reforms and save state education.

Okay Malinda, finally this is my proposition. As you’ve mentioned in your message above, you have, are and will fight for free education. When you are in a team you have to bat and win the game although all the team members may not fit into you ideals. We have to win this first round match. We should defeat any attempt to ruin free education and ensure that the future generations in this country will also have its benefits. Indeed allocating 6% GDP alone will not ensure a healthy system of education. We also have to work towards making education free of all sorts of internal and external obstacles. But the problem with you, as I understand, is you accuse us of not playing well in a second round match while we are still struggling to win the first round. First we have to save free education which is the need of the hour, and then we should start the struggle to make education free of all sorts of misconducts, corruption etc. as its second step. If you are honest and you really want to make education free, you will find likeminded people in the FUTA struggle. In that case, I will be with you for sure and hope many who are in this struggle will definitely be there with you.

I remember your poem “To Nirmal”. And I have observed once you had referred to Danesh as a serious academic in one of your FB comments. I don’t know how many other FUTA members are there in your list of serious academics. It’s clear that at least there are two in this side. But I don’t think you will find any “serious academic” among the bootlicking gang including Ajith Dissanayake, Mahendra Gunawardane, Lalithasiri Gunaruwan, Rohana Lakshman Piyadasa, Rohan Rajapakshe and Ariyaratna Athugala. When you say that you have found that “many” of the FUTA members are self-serving jokers (again I do not agree with you on this) it implies that there are at least a few who are not. But in the camp against the FUTA struggle you will definitely find self-serving jokers only.

I would really like to take the points you have made one by one and discuss them. But I think those issues need an honest and open minded approach which in this war like situation is not a reality.

You can’t leave this to us and challenge us if you are genuine. You have to prove that you do not have any personal grudges against us and be ready to bat on our side even though our team is not perfect according to your judgment.

If you are responsible and genuine you should not be a part of the campaign led by the government against the FUTA struggle. Why should a genuine man like you line up with all those opportunists like Lalithasiri Gunaruwan and Ajith Dissanayake? Are you going to launch your movement to make education free with this kind of jokers? Come and join us! If you are genuine in the cause of free education and making education free I’m sure you will definitely find many fellow travelers here.

FUTA is on a long march. I’m not just referring to the long march from point Dewundara to Point Pedro. It’s on a long march for a better tomorrow for education in Sri Lanka. The current TU action will end in negotiations and the long march starting from Matara will end in Jaffna…….But FUTA’s long march for a better tomorrow in education in Sri Lanka will proceed for years and perhaps for decades if necessary. Hope to see you there on the long march….I mean both.

Hugs

Sieruwensitin Siruwensitin